Thursday, December 12, 2019

සුජිත් රත්නායකගේ “තනි අඛණ්ඩ රේඛාව“


ලෝකයේ විස්මිත ම සොයා ගැනීම් ඇත්නම් ඒ කිහිපයක් පමණි.
මුලින් ම මිනිසා එවකටත් ලොව පුරා තිබුණු ගින්දර යළි ඇති කර ගන්නේ කෙසේදැයි සොයා ගත්තේ ය. ඉනපසු මේ මිහිතලය මත කිසිදා ක නොතිබූ රෝදය නිර්මාණය කලේ ය... ඊටත් බොහෝ කලෙකට පසු දුරකතන සන්නිවේදන ක්‍රමය සොයා ගත් පසු ලෝකය බොහෝ සෙයින් දියුණුවෙන් දියුනුවට පත් විය.
මිනිසා වානර යුගයෙන් මිදී මානවයකු වූයේ එක් සැණෙන් නොව වසර මිලියන ගණනක ඇවෑමෙන් පරිණාමය වීමෙනි. ඒ පරිණාමීය ක්‍රියාවලිය මීට අවුරුදු සිය දහසකට පෙර ඇනහිටින්නට ඇති අතර, මතුපිටින් පෙනෙන රූපය මිසෙක, එතෙක් මෙතෙක් මිනිසා නිර්මාණය වී ඇත්තේ කෙසේදැයි කිසිවෙක් දැන සිටියේ නැත. මේ
මිනිසාගේ අස්ථි පඤ්ජරය, මාංශ පේශී, රුධිර සංසරණ පද්ධතිය ආදී සියල්ල ම ගැන අංග සම්පූර්ණ රූප සටහන් සහිත විස්තරයක් මුලින් ම ලෝකයා ඉදිරියේ දිග හරිනු ලැබුවේ ලෝකප්‍රකට චිත්‍ර ශිල්පියකු, විද්‍යාඥයකු වූ ලෙනාඩෝ ඩාවින්සි (14 52 - 1519) විද්වතානන් විසිනි.
මිනිසාගේ රුධිර සංසරණ පද්ධතිය ස්වභාව ධර්මයාගේ අපූරු ම නිමැවුමකි. එය සහමුලින් ම සංවෘත පරිපථයකි. මිනිස් රුධිරය ශරීරයේ මොන ම තැනකින්වත් නාලිකාවකින් පිටතට පැමිණෙන්නේ නැත. මිනිස් හෘදයේ කෝෂිකා හතරකින් නොනැවතී පොම්ප කරන රුධිරය, සංස්ථානික, පුප්පුසීය සහ කිරීටක ධමනී මගින් ශරීරය පුරා බෙදා හැරෙන්නට පටන් ගනී. ඒ රුධිරය ඔක්සිජන්වලින් පරිපූර්ණ ය. එහි ඇති ඔක්මේසිජන් ශරීරයේ කුදු මහත් කාර්යාවලියන්ට වැය වූ පසු එකතු වන කාබන් ඩයොක්සයිඩ් සහිත රුධිරය ශිරා පද්ධතිය මගින් යළි හෘදය වෙත ගෙන එයි. එසේ එන රුධිරය පෙනහලු වෙත පොම්ප කොට එහි කාබන්ඩයොක්සයිඩ් පිටතට යවා පිරිසිදු කොට ඔන්සිජන්වලින් යළි සන්නද්ධ ව යළි හෘදය වෙත එයි. ඒ රුධිරය ඉ ළඟට මොළයටත්, ශරීරයේ අනෙක් අවයවයන් සියල්ලටමත් යැවෙයි. මේ මහා ධමනි ඉන්පසු කුඩා කේෂනාලිකා බවට පරිවර්තනය වෙමින් සිරුරේ සියලු ම සෛල කරා යන අතර, එයින් පසු යලි සියුම් කේෂනාලිකා මගින් ශිරා බවට පත් වෙයි. මේ එක් රතු රුධිරානුවක්වත් ඒ නාලිකාවකින් පිටතට පැමිණෙන්නේ නැති ලෙස ම රුධිර සංසරණ පද්ධතිය සංවෘත එක්ක බවට පත් ව තිබේ. මිනිසා දක්ෂයෙක්, ප්‍රවීනයෙක්, විදග්ධයෙක්, විශ්වකර්මයෙක්, වසලයෙක්, අලජ්ජියෙක්, හීපාටුවෙක් වෙන්නේ ද මේ එක් තැනෙකින් පටන් ගෙන මොන ම ආකාරයකින්වත් නොබිඳී, නොකැඩී කිමී දහස් ගණනක් දිග රුධිර කේශනාලිකා පද්ධතියකින් ගමන් කර යළිත් ආරම්භක ම ස්ථානයට එන රුධිර අංශූන් නිසා ම ය...!
මුහුණේ අති දහස් ගණනක් පේශීන් ක්‍රියාකරවමින් සිනාව, දුක, පස්ඡාත්තාපය, වේදනාව, කෝපය, උපහාසය ඈ දහසක් සන්නිවේදනයන් උත්පාදනය කරන්නේ ද ඒ මාහපේෂීන් සියල්ල රුධිරයෙන් පෝෂණය වන නිසා ය. ඔබ යමක් සිතන්නේ ද, අතක් පයක් අරමුණක් සහිත ව චලනය කරවන්නේ ද ඒ නිසාම ය..

එයින් වසර සිය ගණනකට පසු මිනිසා විසින් ම සොයා ගත් විදුලිය ද එවැනි ම සංවෘත පරිපථයකි. එහි කොතැනකින්වත් කෙළවරක් අවසන් වන්නේ නැත. ධණ වයරය දිගේ එන විදුලි ධාරාව නැවත එහි නිෂ්පාදනාගරයට ම රැගෙන යන්නේ ඍණ වයරය මගිනි. එහි ගමන අංහුවකින් හෝ බිඳුනොත් විදුලිය ඉන් එහාට ගමන් කරන්නේ නැත විදුලිය නැතිනම් ඉන් නිෂ්පාදනය වන ආලෝකය ද, තාපය ද ආදී කිසිවක් ම උත්පාදනය වන්නේ නැත.
එක් තිතකින් පටන් ගෙන මෙවන් අතිශය සංකීර්ණ ගමන් පද්ධතියකින් පසු යළි ආරම්භක තිත වෙතට පැමිණෙන රුධිර සෛලයක් මොන තරම් දේ නිර්මාණය කරන්නේ ද යන්න අපට නිවී සැනසිල්ලේ සිතන්නට පටන් ගත හැකි මුත්, එහි කෙළවරක් සිතා ගන්නටවත් අපහසු ය. බලාගාරයේ ඩයිනමෝවෙන් නිකුත් වන අධිබල විදුලි දහරාවත් රටේ හැම හද්දිග්බාගයක ම රිංගා ගොස් අවසන දායාද කරන දේ අපට වරු ගණනක් තිස්සේවත් ලියා අවසන් කළ නොහැකි ය...!
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හුංගම ග්‍රාමයේ පරසිද්ද සිත්තර පවුලක වැඩිමහල් සිත්තරා වූ සුජිත් රත්නායක ද එවන් විශ්ව කර්මයෙක් ම ය...! හේ මුලින් වඩා දක්ෂ වූයේ රූප අඹීමට හෙවත් මූර්ති කලාවට ය. ඔහු කොළඹ හෝර්ටන් පෙදෙසේ සෞන්දර්ය විශ්වවිදයාලයට ඇතුළත් වන්නේ ද මූර්ති කලාව සහ ශිල්පය වැඩි දුර හදාරන්නට ය. එහෙත් ඔහු ඉන් එළියට එන්නේ විශිෂ්ට පින්තාරුකරුවෙක්, නිර්මාණ ශිල්පියෙක් විදිහට ය. ඔහු මීට කලින් පවත්වන ලද ප්‍රදර්ශන හය හත ම චිත්‍ර ප්‍රදර්ශන ම විය. හේ නිර්මාණ පරිකල්පනයට මෙන් ම ලේඛණයට ද, භාෂණයට ද එකසේ සමත් කම් දක්වන්නෙකි.
ටික කලෙකට පෙර ඔහු විසින් පවත්වන්නට යෙදුණු චිත්‍ර ප්‍රදර්ශනය නරඹන්නට යාම මගේ අයහපත් ශරීර සෞඛ්‍යය විසින් මැඩ පවත්වනු ලැබූව ද, ඔහු මවෙත කළින් එවන ලද චිත්‍ර නිර්මාණ දැක ආලෝලනය වූ මසිත ඊට පූර්විකාවක් ලියන්නට බල කරනු ලැබී ය. එහෙත් මම ඉන් මහත්සේ අසරණ වීමි.
එක ම ලක්ෂයකින් පටන්ගෙන සිය සිතේ මතුවන මහා සිතිවිලි සමුදායක් අංශුවකින් හෝ වෙනස් නො කර, නොකැඩුණු තනි ඉරක් ලෙස කැන්වසය මත සනිටුහන් කරන පරිකල්පනය, චිත්තාවලි සමූහය මා විස්මයට ද, අමන්දානන්දයට ද පත් කර ලී ය..!!
එය මට කර බැලිය හැකිදැයි මොහොතකට සිතමි. පටන් ගන්නට පුලුවන. නමුත් අඩු තරමින් කඩදාසියේ, කැන්වසයේ වපසරියවත් හරියට ප්‍රමාණ කර ගන්නට මම අපොහොසත් වෙමි. මෙසේ ඇඳගෙන යන රේඛාවෙන් ගම්‍ය වන්නේ කුමක්දැයි මොහොතකටවත් සිතා ගන්නට අපොහොසත් ව උකටලී වෙමි. ඒසේ තනි ඉරකින් චිත්‍රයක් ඇඳගෙන යන්නට ඇවැසි මානසික ඒකාග්‍රතාව නොමැති බැවින් විස්සෝපයට ද පත් වෙමි.
එකල් හි මම චිත්‍රයකට බද්ධ කළ නොහෙන වචන ගොන්නකින් දමා ගසමින් අසම්පූර්ණ සටහනක් ඔබට දෙමි.
එනිසා ම සුජිත් රත්නායක Sujith Rathnayake මළණුවනි, මම ඔබ කෙරෙහි අතිශයින් ඊර්ෂ්‍යා පරවශ වෙමි...!!
මෛ ප්‍රදර්ශනය පවත්වන්නට යෙදුනේ 2018 ජූනි මාසෙ 28 වෙනිදා සිට ජුලි මාසයේ 18 වන දා තෙක්, කොළඹ කොල්ලුපිටියේ, පැරඩයිස් රෝඩ් The Gallery Café - Restaurant, 2 Alfred House Rd, Colombo පෞද්ගලික කලාගාරයේ ය. 
ඒ නරඹා මසිත ඇති වූ සිතිවිලි ගොන්න පසු සටහනක් ලෙස මෙසේ ලියා තබමි.













Share/Bookmark

Monday, February 25, 2019

මගේ පින්තූර ගැන කතා කරමු...!!

මම මුල් ම ඡායාරූප ප්‍රදර්ශනය පැවැත් වූයේ 1992 අවුරුද්දේ ය. ඊට ඡායාරූප පමණක් නොව, පත්තරවල පළ වූ මුල් පිට ඡායාරූප ද, පොත් කවර නිර්මාණ ද, චිත්‍ර ද ඇතුළත් විය. කාලය වසර ගණනාවක් ගෙවී ගොස් ඇති බැවින් ද, සංරක්ෂණය නොකළ බැවින් ද, ඒවා බොහෝ සෙයින් විනාශ වී ගොසිනි. ඉතිරි පින්තූර කිහිපයක ප්‍රතිරූප කිහිපයක් පමණක් ඇති බැවින් ඒවා ඔබ සමග කතා බහට ලක් කරන්නට තීරණය කළෙමි.

මේ ඡායාරූප ගැනීමේ දී මා භාවිතා කලේ අතිශය ප්‍රාථමික Pentax K1000 කැමරාවකි. එහි මිමී50 නෝමල් කාචය හැර, අයියා මට රුසියාවෙන් ගෙනැවිත් දුන් 17මිමී මීනක්ෂි Fish Eye කාචයක් ද, ස්කෘ ටයිප් Screw Type මිමී135 ටෙලි කාචයක් ද, තවත් මිමී 28 වයිඩ් ඈන්ගල් Wide Angle කාචයක් ද මා සතු විය. බොහෝ විට මම, ඡායාරූපය සඳහා මූලික රූපයක් හෙවත් විෂුවල් එකක් මගේ සිතේ තබා ගන්නේ නැත. නමුත් දකින රූපයෙන් කිසිවක් මතු කර ගත හැකි ය යන සිතිවිල්ල මට නිරායාසයෙන් ම පැමිණෙන්නේ ය. යම් යම් ගමන් බිමන්වල දී ඇස ගැටෙන රූප මම සටහන් කර ගනිමි. ඒවා දකින්නේ දවස් ගණනාවක් ගිය පසුව ය. පින්තූරය දුටු විට මට ඉන් මහා කතන්දර මැවෙන්නේ ය..ඒ පින්තූරය කපා කොටා ඔප මට්ටම් වන්නේ ඉන් පසුව ය.

ඡායාරූපයක මතු පිටින් පෙනෙනවාට වඩා යම් කතාවක් කිව හැකි බවත්, නිර්මාණ ශිල්පියාගේ ආත්ම ප්‍රකාශනය ඒ තුළ ගැබ් විය යුතු බවත් මම තරයේ විශ්වාස කරමි. මේ මගේ කතාවයි...!!

මල්ලියෙ කොහේ කොතැනක නුඔ....


මේ පින්තූරය මවිසින් ගන්නා ලද්දේ 1989 අවුරුද්දේ ය. බීෂණය රට පුරා වැපිරී තිබූ එම කාල වකවානුව අතිශය බිහිසුණු විය. රජය මෙන් ම ජවිපෙ ද තරගයට භීෂණය වැපිරුවේ ය. ඉන් ඔවුන් දෙකොට්ඨාශය ම අස්වනු ද නෙලුවේ ය. එවකට ජවිපෙට අතිශයින් හිතවත්ව සිට පසුව ඒ දේශපාලන මතවාදය හැර පියා අතිශය ධනේෂ්වර ජීවන රටාවකට හැරෙමින් සිටි මගේ හිතවත් ම මිත්‍රයකුගේ (අද ඔහු අතිශය ආන්දෝලනාත්මක වෙබ් පුවත් පතක හිමි කරුවෙකි.) තාවකාලික කාමරය තිබුනේ දෙහිවල කරගම්පිටියේ අහුමුල්ලක වූ නිවෙසක ය. එහි අඩු තරමින් ජනේලයක්වත් නොතිබූ අතර, වහළයේ වූ වීදුරු උළු කැටයකින් පමණක් කාමරයට දිවා ආලෝකය ලැබුණේ ය. එහි තිබූ දෙපියන් අබලන් දොරට අගුලක් ද නොතිබූ අතර, අතරමං වන ඕනෑ ම මිත්‍රෙයකුට නවාතැන වූයේ මේ කාමරයයි.

දිනක් මම මේ මිත්‍රයා හමු වීමට උදෑසනක එහි ගියෙමි. මේ කාල වකවානුවේ මා සේවය කළේ විජය පුවත් පත් සමාගමේ රූ රටා සංස්කාරකවරයකු ලෙසින් වුවත්, නිතර ම කැමරා බෑගය එල්ලාගෙන යාමට පුරුදු ව සිටියෙමි. සිරිත් පරිදි ඔහු එහි සිටියේ නැත. මම දොර හැරගෙන කාමරය තුළට වී සිටියෙමි. හිරු මුදුන් වෙත් ම දාහය ද අධික වෙයි. බැරි ම තැන මම මගේ කමීසය ගලවා බිත්තියේ තිබූ ඇණයක එල්ලුවෙමි. අර වහළයේ වූ වීදුරු උළු කැටයෙන් පෙරී එන ආලෝක කදම්බයක් අපූරුවට බිත්තිය මත සටහන් ව තිබූ අතර, මගේ කමීසයේ දිගු සෙවනැල්ලක් ද ඒ අතර මැවී තිබුණි. මම මගේ පෙන්ටැක්ස් කේ1000 කැමරාව ගෙන පින්තූරයක් සටහන් කර ගතිමි. එදා මිත්‍රයා මට හමු වූයේ නැත...
පසු දිනෙක මම මේ පින්තූරය ද මුද්‍රණය කරගෙන පත්තර කන්තෝරැවට ගියෙමි. එකළ කන්තෝරුවට උදයෙන් ම පැමිණෙන්නේ අද අප අතර නැති ප්‍රවීන පුවත්පත් කලාවේදී දෙල්තොට චන්ද්‍රපාල මහතාත්, සමාජවාදී චින්තනයකින් හෙබි එක ම කාන්තා පුවත්පත් කලාවේදිනිය වන කරුණා පෙරේරා මහත්මියත්, මාත් ය. මම මගේ සෑම පින්තූරයක් ම කරුණක්කාට පෙන්වන සිරිතක් තිබුණේ ය. එනිසා සිරිත් පරිදි මේ පින්තූරය ද මම ඇයට දුන්නෙමි. ඒ දෙස බොහෝ වේලාවක් බලා සිටි ඇය, දිග සුසුමක් පිට කරමින් “කෝ බං මේකෙ අයිති කාරයා...?“ යි ඇසුවා ය.....!!!
මා ප්‍රදර්ශනයට ලක ලැහැස්ති වුණේ ඊට බොහෝ කලෙකට පසුව ය. එදාත් මට ලොකු ගැටලුවක් ව තිබුණේ මේ ඡායාරෑපයට මාතෘකිවක් දැමීම ය. ඊට මට උදව්වට පැමිණියේ මා හිතවත් වසන්ත කුමාර කොබවක නම් වූ සුන්දර මිත්‍ර, ප්‍රවීන ගීත රචකයා ය. ඒ භීෂණ යුගයේ අප සිත් සතන් පසාරු කළා වූ, සුනිල් එදිරිසිංහයන් ගයන, කුලරත්න ආරියවංශ රචනා කළ “මල්ලියෙ කොහේ කොතැනක නුඹ...“ නම් වූ ගේය පද රචනාවේ පළමු වගන්තිය එහි මාතෘකාව ලෙස යොජනා කලේ කොබවක ය...!!!

“පින්නේ රැයේ කඩ අගුවක නිදනවද
ලොරියක ගෝනි මත්තේ නිදි කිරනවද
කරවල වාඩියක හිරවී තැවෙනවද
(මල්ලියෙ කොහේ කොතැනක නුඹ)....සිටිනවද ??


තුන්වන ලෝකයේ අභ්‍යන්තර අරගලය.මේ ඡායාරූපය මගේ ඇස ගැටුණේ “තරුණයා“ පත්තරයේ විලාසිතා ඡායාරූප ගැනීමට වැල්ලවත්තේ මුහුදු වෙරළට ගිය අවස්ථාවක ය. නිරූපණ ශිල්පියා සූදානම් වන අතර තුරේ, වැල්ලේ බිම වාඩි වී රෝස් පාන් කැබැල්ලක් දත ගාමින් සිටින මේ ළදරුවා දුටු මම පෙන්ටැක්ස් කැමරාවට මිමී 135 දුර රූප කාචය සවි කර ගෙන ඔහු දෙසට මෑනුවෙමි. එසැනින් කොහේදෝ සිට පැමිණි කාක්කෙක් මේ දරුවාගේ පාන් කැබැල්ල උදුරා ගන්නට සූදානම් විය. මම ටක් ගා ෂටරය ක්‍රියාත්මක කළෙමි. කාක්කා ගියේ ය. එක ම පින්තූරයක් පමණක් මට ඉතිරි විය.
දුප්පත් අපගේ දුප්පත් අයිතිවාසිකමක් උදුරා ගන්නට එන්නේ ද අපේ ම පන්තියේ දුප්පතෙක් ම ය...!!! 

තාත්තා
ලාංකේය අප ජීවත් වන්නේ පිතෘ මූලික සමාජ සංස්ථාවක ය. එනිසා හැම විටෙක ම නිවෙසක මූලිකයා වූයේ ද, තීරකයා වූයේ ද, ශක්තිය වූයේ ද තාත්තා ය. එවන් පියෙකු අකාලයේ පවුල හැර ගිය විට ඒ පවුල් සහමුලින් ම කඩා වැටෙන්නේ නැත. ඊ ළඟට සිටින වැඩිමලු පුත්‍රයා සහ ඔහුගේ බාල සහෝදරයින් එහි බර කරට ගන්නේ ය. මේ අපේ වත්තේ කෙළවරක තිබූ අහඹු දර්ශනයකි. මහ අත්ත කඩා වැටුන ද, ඉන් වෙනත් අතු රිකිළි දළු ලා වැඩෙන අයුරු මට මහා කතාවක් කියා පෑවේ ය. මේ ඒ කතාවයි...!!!



විරාගයමේත් අප නිවෙස ඉදිරිපිට තිබූ මල් පැලයකින් මා දුටු දර්ශනයකි. අත්තේ ඉහළ හොඳට මල් පිපී තිබුණ ද මේ පළඟැටියා යන්නේ ඊට විරුද්ධ දිශාවට ය. මාර්ටින් වික්‍රමසිංහයන් රචිත නවකතාව ද, එවකට නැනෙමින් තිබුණු විරාගය චිත්‍රපටය ද මගේ සිතේ පැල පදියම් ව තිබුනේ ය. ඡායාරූපය දුටු මගේ සිතේ ඇති වූ ප්‍රකම්පනයයි මේ...!!!

මේ ඡායාරූපයට පාදක වූ නිමිත්ත මගේ ඇස ගැටුනේ හලාවත සිට මෝටර් සයිකලයෙන් ආපසු එන ගමනේ දී උස්වැටකෙයියාවේ දී ය. මේ ගමනින් මම මහා අස්වනු තොගයක් ම නෙලා ගතිමි. ඉර බැස ගොස් අවසන ගොම්මන් කළුවර ගාල් වන අවස්ථාවේ දී උස්වැටකෙයියාවේ වැලි තලාව මත නවතා තිබුනු ඔරු කඳන් සමග සිටි දරුවන් රැස මට මහා චිත්ත රූපයක් මවා පෑවේ ය.

නිවනට පෙර සිත

මේ පින්තූරය මවිසින් ග්‍රහණය කර ගත්තේ ද, උස්වැටකෙයියාවේ දී ය. අප මෝටර් බයිසිකලයෙන් කොළඹ බලා එන්නට පිටත් වූයේ ඉර බැස ගියාටත් පසුව ය. මඳ දුරක් එද්දී ගොම්මන් කළුවරේ නවතා තිබූ ඔරු කඳන් අබියස සිටින මේ ළමෝ රොත්ත මගේ ඇස ගැටුණි. අඳුරු රන්වන් අහස ද, කළු පාට ඔරු කඳන් ද මා එතැන නවතා ලන්නට සමත් විය. පින්තූරය මුද්‍රණය කළ පසු එහි වූ වර්ණ සමර්පණය මට මහා ශාන්තිමය හැඟීමක් රැගෙන ආවේ ය. නිවන් දකින්නට පෙරත්, සංසාරෙන් එතෙර වන්නට තියෙන දෙයක් ළඟ මොහොතක් නැවතිල ඉසිඹු ලන කොට, මේ වගේ මහා ශාන්තියක් හිතට දැනෙනව ඇති නේද කියල මට හිතුණ...!!


කඳවුරක ප්‍රේමය

දුව පුංචි කාලෙ අපට ලොකු අර්බුදයක් තිබුණ ඈව බලා ගන්න කෙනෙකු නැති ව. බිරිඳට රැකියාව අත හරින්න බැහැ. වෙන කවුරුවත් හොයා ගන්නත් බැහැ. ඒ නිසා කෙල්ල පුංචි කාලෙ ගෙදර හිටියෙ මම. මට රස්සාවල් හොයා ගන්න එක එච්චර අරුමයක් නොවන නිසා මං ගෙදර ඉඳීමේ අභියෝගය බාර ගත්ත. ඉතිං ගෙදර හිටියත් මම කලේ කැමරාවත් අටවගෙන අපේ ඉඩම පුරා ඇවිදින එක. ඒ කාලෙ මට අති සියුම් ඡායාරූපකරණය ගැන පිස්සුව වැළඳීගෙන එන කාලෙ.. ඒකට හරි යන්න එක්ස්ටෙන්ෂන් බැලෝවකුයි, එක්ස්ටෙන්ෂන් රිංග්ස් සෙට් එකකකුයි මා ළඟ තිබුණ.
ඉතිං මේ උපකරණත් අටවගෙන ගස් අස්සෙ රිංගනකොට කපා දාපු පොල් කොටයක් මත සිටින මේ ජෝඩුව මගේ ඇස ගැටුණ. පින්තූරය මුද්‍රණය කළාට පස්සෙයි මම දුටුවෙ පසු බිම තද කොළ පාටින් විතරක් බොඳ වෙලා සටහන් වෙලා තිබෙන බව. ඒත් එක්ක ම මේ රතු පාට හකරැල්ලන් ජෝඩුවත් හොඳට කැපිල පෙනුන. උන් දෙන්න පුදුමාකාර සෙනෙහසකින් වෙළිල හිටියෙ මහා කඨෝර පසු බිමක..
කළෙකට පෙර මම යොවුන් ජනතා පත්තරේ වැඩ කරන කාලේ අප සමග හිටපු සෙනරත් බන්ධුනාථ දසනායක සහෝදරයා (අද එතුමා අධිකරණයේ මහේස්ත්‍රාත්වරයෙක්) 75 කැරැල්ල කාලෙ කඳවුරක සිට ලැබූ ජීවන අත්දැකීම් අප සමග කියා තිබුණ පමණක් නොවෙයි ඔහු එය පාදක කර ගෙන නවකතාවක් පවා ලියුව “ශාපලත් දේශය“ කියල..ඒ කතා මගේ ඔලුවෙ නින්නාද උනා. පින්තූරෙ දුටුවාම මගේ හිතට ආවෙ කැරළිකාරයන් ව. හකරැල්ලන් වගේ ජුගුප්සාජනක උනත් උන්ගේ හැඟීම් දැනීම් මොන තරම් ද කියල මම දැනගෙන හිටිය. ඒ වගේ ම පසු බිමින් පෙනෙන කොළ පාට, ලොකු දේශපාලන කතාවක් මගේ සිතට දැනවූවා.

කඳවුරක උනත්, කැරළිකාරයො උනත් ඔවුන්ගේ ප්‍රේමය ප්‍රේමයමයි...!!

40 සමාජවාදය

මේ පින්තූරය අරං දැං අවුරුදු 30කටත් වැඩි ඇති. රුසියාවේ නිෂ්පාදිත, මගේ සෙනිත් Zenith E කැමරාවෙන් වැල්ලවත්ත මුහුදු තීරයෙදියි මේ දර්ශනය ඩැහැ ගන්න මට පුලුවන් උනේ..

ඉර බැහැගෙන යනව. මුළු පින්තූරෙ ම රතු පාටයි. නැවකුත් වම් පැත්තෙ ඉඳන් දකුණු පැත්තට යනව. වම් කෙළවරේ ඉන්න පිරිසත් දකුණු අත පැත්තටයි යන්නෙ. නමුත් බාච්චු කොට කළිසමක් ඇඳ ගත්තු මධ්‍යම පාන්තික පෙනුමක් සහිත (මගෙ මතකයට ආවෙ ම කොල්වින් සහෝදරයා..!!) මේ පුද්ගලයා පමණක් සියල්ලට ම විරුද්ධ දිශාව - එනම් වම් පැත්ත - බලාගෙන නොසැලී ඉන්නව. මේ සේරම ගියත් එයාට යන්න උවමනාවක් නැහැ වගේ....!!
මේ පින්තූරය මුද්‍රණය කරල ගෙනාවට පස්සෙ මට මතක් උනේ ම 1940 ගණන්වල හිටපු, කොමියුනිට්ස් සහ සම සමාජ පක්ෂවල දැවැන්ත පුරුක්...!! හැමෝ ම, හැම දෙයක් ම අත හැරල ධනවාදී දක්ෂිණාංශික වෙද්දි, එයාල ටික දෙනෙක් විතරක් නොසැලී “වම“ වෙනුවෙන් පෙනී සිටියා...!!
ඒ ටික දෙනා තාමත් නොසැලී එහෙම ම ඉන්නව ඇති. ඉර බැහැල ගිහිල්ල අඳුර රජ වෙලා නිසා අපට පෙනෙන්නෙ නැති ව ඇති...!!


ඇසල සඳ


මේ පින්තූරය මම ගත්තෙ මාගාල්ලෙ දි. 1992 මුල..!! ගාල්ල දක්වා මෝටර් සයිකලෙන් ගිහින් එන අතරෙ. මාගාල්ලෙ ලොකු පාලම පහළ තියෙන දිය පාරෙ කෙළවරක මේ ඔරුව නවත්තල තිබුණ. ගත්තෙ දවල් 2ට විතර. නිසල දිය කඳ මත සටහන් වෙච්ච ඔරු කඳේ සෙවනැල්ල සහ ඒ පිටුපසින් තිබුණු පොල් ගහේ හෙවනැල්ල මගෙ හිතේ තදින් කා වැදුන. ඒ හින්ද ඒ දෙක වඩා හොඳින් සටහන් වෙන්න පින්තූරෙ ගත්ත. මුද්‍රණය කරල බැලුවමත් සියලු විස්තර අපූරුවට සටහන් වෙල තිබුණත් ඊට වඩා විශේෂයක් දැනුනෙ නැහැ. මේ පින්තූරෙන් ම කොපියක් නැවත මුද්‍රණය කරන්න වෙනත් මැනුවල් රසායනාගාරයකට දුන්නහම උන්දෑ ඒකෙ ඩෙන්සිටි වැඩි කරල මාර අඳුරු පින්තූරයකුයි මට දුන්නෙ...අනේ ඒ වැරැද්ද නිසා මේ පින්තූරෙ ලොකු කතාවක් කියනව කියල මට හිතුණ. ඒ නිසා නැවත වරක් තව අඳුරු කරල, නිල් පාට වැඩි කරල මුද්‍රණය කළා ම, මේ මුද්‍රණය දැකල මගේ හිතවත් ප්‍රදීප් කුමාර බාලසූරිය උන්නැහේ කිව්ව “අභිනිෂ්ක්‍රමණය“ කියල...!! සිදුහත් කුමාරය අභිනිෂ්ක්‍රමණය කළේ මහ රෑක. ජූලි හෙවත් ඇසල මාසෙ පෝය දවසක....මේ ඔරුවත් මහ රෑක හඳ එළියෙන් ලොකු ගමණක් යන්න සූදානම් වෙනව කියල මට දැනෙන්න පටන් ගත්ත. ඒ නිසා මම මේක නම් කළා “ඇසල සඳ“ කියල....!!




රාජ්‍ය ත්‍රස්තවාදය


මේ පින්තූරය ගත්තෙ සෙනිත් ඊ කියන අතිශය ප්‍රාථමික එස් එල් ආර් කැමරාවෙන්. කාචය මිමී55 නෝමල් ලෙන්ස් එක. අවුරුද්ද 1979 විතර. ගත්තෙ සෞන්දර්යය විශ්ව විද්‍යාලයයේ යාලුවො කිහිප දෙනෙක් එක්ක ගිය, එයාලගේ ඡායාරූප ක්ෂේත්‍ර චාරිකාවකට මාත් සහභාගි වෙච්ච අවස්ථාවක, දෙහිවල සතුන් වත්තෙදි.
ඒ කාලෙ වර්ණ පටල තිබුණෙ නැහැ අපට....!!
අපි ඉතින් හිතල, මැනල තමයි පින්තූර ගත්තෙ. කළු සුදු රීෆිල් ෆිල්ම් එකකුත් ඒ කාලෙ රු. 15/-ක්...!! පෝස්ට් කාඩ් සයිස් සිංගල් වේට් මුද්‍රණ කඩදාසි 100ක පැකට් එකක් රැ. 33/-ක්. මගේ රු. 475/-ක ගුරු වැටුපට සාපේක්ෂ ව ඒව ලොකු මිලක්...!!
හරි ඉතිං බහිමු අපි මාතෘකාවට. මගේ ප්‍රියතම සතා තමයි බකමූණා...! මුන්දෑ හිටිය කූඩුවෙ දැලට ම ලෙන්ස් එක තියල මම ගත්ත පින්තූරයක්...එයා ඔරෝගෙන බලං හිටිය මගේ දිහාව. ඊ ළඟට අපේ මිතුයෙකුත් ළං උනා. මුන්දෑ කෙටුවනේ එයාගෙ ලෙන්ස් එකට...!!
මේ පින්තූරෙ කාලයක් ම මගේ ළඟ තිබුණ. භීෂණ යුග ගණනාවක ම අත්දැකීම් තිබුණ නිසා මට මේ පින්තූරෙනුත් දැනුනෙ ම භීෂණ වාතාවරණයක්...ප්‍රදර්ශනයට තියන්න මේ පින්තූරෙත් තොරා ගත්තා ම ඒකට මාතෘකාවක් අවශ්‍ය උනා..යෝජනා ගණනාවක් ම ආව.

බකමූණා නිශාචර පක්ෂියෙක්..රෑ තිස්සෙ දඩයමේ ගිහිල්ල, දවල්ට ගස් හෙවණක හරි ම අහිංසක විදිහට නිදා ගන්නව...මුන්දෑ ඊට පොඩ්ඩක් වෙනස්. ඉන්නෙ ආණ්ඩුව හදල දීපු කූඩුවක..

රාත්‍රී කාලය පුරා ම මිනිස් දඩයමේ යන අය, දවල්ට අපූරුවට ආණ්ඩුවේ රැකවරණය යටතේ සුවසේ ගත කරනව. පූර්ණ ආරක්ෂාව යටතේ..මට මතක් උනේ ම ඒ අය...

මගේ හිතට ආවෙ ම “රාජ්‍ය ත්‍රස්තවාදය “ කියල..පින්තූරෙ වටේට දාපු රතු ඉර ඒක තවත් තීව්‍ර කළා කියල මට හිතුණ..!!



ඉඩෝරයට අසු වුණු පරාක්‍රම සමූද්‍රය


මේ පින්තූරය මම ගත්තෙ 1978 විතර, එකල අපි හිටියෙ වැල්ලවත්තෙ ගාලු පාරෙ තිබුණු නැන්දාගෙ වෙළෙඳ සැලෙයි. මේ අපේ නැන්දාගේ මිතුරියක්. ඇය නිතර එනව මේ කඩේට. මේ කාලෙ මම ලාල් හෑගොඩ ශූරීන් විසින් ගනු ලැබූ "අම්මා" නම් වූ ඡායාරූපය දැකල පිස්සු හැදිලයි හිටියෙ. ඒ ඡායාරූපයට අලගු තබන්න බැරි උනත්, පවතින ස්වභාවික ආලෝක තත්ත්වයෙන් ම මේ පින්තූරය ගත්ත.

ඇගේ මුහුණ මත ඇඳි රේඛා මට මහා කතන්දරයක් කියා පෑව. නමුත් ඊට අම්මා නම දෙන්න බැරි උනේ ලාල් සර්ගෙ පින්තූරෙ නිසයි..

මේ අතරෙ අපට අහම්බෙන් පොළොන්නරු යන්න ලැබුණ. එහි දී පරාක්‍රම සමූද්‍රය දුටුවාම එහි ඇති දැවැන්ත බව ගැන පුදුමාකාර භක්තියක් ඇති වුණා. ඒ තමයි මිනිස් ශ්‍රමයෙන් සැදූ ලංකාවේ විශාලතම වාපී කර්මාන්තය. මේ තරම් දැවැන්ත ජල කඳක් දරාගෙන ඉන්න මේ මහා සින්ධූපමාන වූ (මහ මුහුදක් වැනි) ජල තඩාගය විසල් ඉඩෝරයකට අසු වෙලා, සහමුලින් ම සිඳිල, පතුල මතු වෙල, එහි බිම ‍පුපුරල ඉරි තළල ගියොත් මොන වගේ වේවිද කියල ආපු සිතුවිල්ලත් එක්ක ම, මට මේ පින්තූරයට මාතෘකාවකුත් ඔලුවට ආව....!!



භව අග්‍රය


මේ පින්තූරය ගන්න ලැබුණෙත් 88 විතර, දුවත් එක්ක බෙබෙි සිටිං ඉන්න කාලෙ..!
පෙන්ටැක්ස් 2 එක්ස්ටෙන්ෂන් රින්ග් එකත් එක්ක මිමී135 කාචය සවි කරල, වත්ත පුරා කරක් ගහද්දියි මේ සිද්ධිය ඇස ගැටුණෙ...
මේ කපා දැමුණු පොල් ගසක ඉතිරි වුණු කඳේ මැද දිරා ගියත්, සවිමත් වට පොත්ත ඉතිරි ව සෑදූ වළල්ලක්. මට මේක දුටුවාම මතක් වුණේ "නාරා වල" කියන දෙය. දැවැන්ත ගසක් කපා දමල බොහෝ කලක් ගත වුණා ම එහි දැව කොටස් සමග මුදුන් මුල ද දිරා ගොස්, පෙළොව තුලට සෑදෙන පරක් තෙරක් නොපෙනෙන මහා වලටයි නාරා වල කියන්නෙ. මේ වල එතරම් ම ගැඹුරු නැති උනත්, උදෑසන පොළොව සිප ගන්නා ආනත හිරැ කිරණ කදම්බ, මෙහි පිටත දාරය මත පමණක් ආලෝකවත් කරන නිසාවෙන්, එහි වල තැළ පෙනෙන්නෙ මහා අන්ධකාරයක්. ඒ අස්සෙයි මම මේ දිමියා ව දුටුවෙ. මට මේක පොඩි වලක් උනත්, මේ දිමියාට ඒක මේ භවයේ අග්‍රය වගේ පෙනෙන්න ඇති..!!


දේවදාසී


හින්දු කෝවිල් යනු උතුරු සහ දකුණු ඉන්දීය සංස්කෘතියේ වැදගත් ම සාධකයයි. ඉන්දීයයන් බහුතරයකගේ ආගම වන්නේ දෙවියන් ඇදහීමයි. ඒ ඇදහීම සිදු වන්නේ ද දෙවියන් පිනවීම මගිනි. කැවිලි පෙවිලි රස අහර පුද කිරීමෙන්, සුවඳ පැණින්, කිරෙන් නෑවීමෙන්, සුවඳ පැන් ඉස සුවඳ දුම් අල්ලා සන්තර්පණය කිරීමෙන්, ස්ත්‍රෝත්‍ර ගායනා කිරීමෙන්, සංගීත භාණ්ඩ වැයීමෙන් මෙන් ම නර්තනයෙන් ද කරන්නේ මේ දෙවියන් පිනවීම ය. 

මේ අනුව දෙවියන් පිනවීම සඳහා ම අත්‍යාලංකාර, විසල් කෝවිල් ගොඩනැගිලි ඉදි කෙරෙන අතර, ඒවා පවත්වාගෙන යාම ද ජයට සිදු වෙයි.  මේවා නඩත්තුවට ද, අති විශාල ධනයක් අවශ්‍ය වෙයි. ඒ ධනය බැතිමතුන්ගේ ආධාරයෙන් පමණක් උපයා ගැන්ම දුෂ්කර ය. එනිසා කෝවිල් හිමි පූසාරීන් හැරෙන්නේ ධනවතුන් දෙසට ය. මේ ධනවතුන් ගේ ධනය කෝවිල් දෙසට හරවා ගන්නටනම් ඔවුන් කෝවිල් වෙත නිරන්තරයෙන් ආකර්ෂණය කරවා ගත යුතු ය. ඒ සඳහා මේ කෝවිල් විසින් කරන ප්‍රධාන ම දේ වනුයේ ලිංගික සන්තර්පණය හඳුන්වා දීමයි. මේ වෙනුවෙන් කෝවිල්වල වෙනම කණ්ඩායමක් පුරුදු පුහුණු කොට සිටියි. ඔවුන් හැඳින්වෙන්නේ "දේවදාසී" නමිනි. 

ඉන්දීය ජන ජීවිතයේ ගැහැණියට ඇත්තේ අවර ම සැළකිල්ලකි. බොහෝ පවුල්වල ඉපැදෙන ගැහැණු දරුවන් මරා දමන්නට තරම් ඔවුන් සැහැසි වෙයි. එනිසා ඉන්දියාවේ ගැහැණුන් යනු අතිශය ලාබ, සිල්ලර පාරිභෝගික භාණ්ඩයක් බවට පත් ව ඇත්තේ ය. බොහෝ දුපත් පවුල්වලින් ඉවත දැමෙන මේ කුඩා දැරියන් කෝවිල්වල සේවයට යෙදවෙන්නට පටන් ගැනෙන්නේ මේ ආකාරයට ය.මේ දැරිවියන් කිසිවකුට නිසි අධ්‍යාපනයක් නොලැබෙන අතරතුර, ඔවුන්ට නැටුම් සහ සංගීත සාශ්ත්‍රය අඩු නැති ව ඉගැන්වෙයි. ඔවුන් නර්තනයේ කෙළ පැමිණියන් වන්නේ එහි පූර්ණ කාලීන ව ම සතත අභ්‍යාසයේ යෙදෙන නිසාම ය. විවිධ නර්තන සම්ප්‍රදායයන් ද, විවිධාකාර නාට්‍ය අංග ද ඉගැන්වෙන මේ දැරියන් සිය නර්තන අභ්‍යාසයේ කූටප්‍රාප්තිය "අරංගේත්‍රම්" නම් වූ කළ එළි මංගල්‍යයකින් එළි දක්වන්නී ය. මේ මංගල්‍යය ද කෙරෙනුයේ කෝවිල් මගිනි. දෙවියන් ඉදිරියේ වැඳුම් පිදුම් කොට, බැති ගී, භජන්, ස්ත්‍රෝත්‍ර ගයා ඔවුහු සිය රංගන කුසලතාවන් එළි දක්වති. මේ කල එළි මංගල්‍යය නරඹන්නට පැමිණෙන්නේ ධනවත්, වංශවත්තු ය. නර්තන ය අවසානයේ මේ ධනවත්තු අර සියුමැලි නාටිකාංගනාවන් සිය ලිංගික අවශ්‍යතාවන් සපුරා ගන්නට, තම අණසකට යටත් කර ගන්නේ ය. ඒ සඳහා ඔවුන් විය පැහැදම් කරන සියලු ධනය හිමි වන්නේ කෝවිලට ය. දෙවියන් පිනැවීම සඳහා ම වන සියලු සාශ්ත්‍රයන් හි කෙළ පැමිණි මේ දැරිවියන්, සිය කුසලතාවන් දෙවියන් නාමයෙන් මේ ධනවතුන් වෙනුවෙන් පුද කරන්නී ය.

මේ ධනවතුන් පැමිණ කවුරුන් හෝ නාටිකාංගණාවකගේ රංගනයන් දෙස බලා සිට, අවසන ඔවුන් වෙතින් ලිංගික සන්තර්පණය ද ලබා ඉවත යනු මිසෙක, ඒ කවුරුන්දැයි දැන කියා ගන්නට මේ දැරියනට අයිතියක්, හැකියාවක් ඉතිරි නොවන්නේ ය.

මේ ඡායාරූපය මවිසින් ගනු ලැබුවේ ද මගේ "බේබි සිටින්" කාල පරිච්ඡයේ දී ය. පිටුපස වත්තේ ගස් කොලන් අතර ඇවිදිමින් සිටින අතර, විරුද්ධාලෝකය මත රඟ දෙන මේ ළපටි සියඹලා පැළය මගේ ඇස ගැටිණි. තද අඳුරු කොළ පැහැති කාඩ්බෝඩ් තහඩුවක් පිටුලසින් තබා අනෙකුත් ගස් කොළන් වසං කළෙමි. පෙන්ටැකස් 1000 කැමරාව ද, මැක්‍රෝ වළල්ලක් සවි කළ 135 කාචයද මානාගෙන තත්පරයක කාල ද්වාරය වේගයක් ද සහිත ව බොත්තම ක්ලික් කළෙමි. ළපටි දළු සුළඟට සෙලැවෙද්දී කොහේදෝ සිට පැමිණි කුඩා සතෙක් රාමුව හරහා ඉගිල යනු මම දුටුවෙමි. එය ද මා දුටුවේ ඡායාරූපය මුද්‍රණය කළාටත් පසු ව ය.

රඟන මේ ළදළු හරහා යන මේ සත්ත්වයා කවරෙක්දැයි මට හඳුනා ගන්නට බැරි සේ ම ඒ කවුරුන්දැයි මේ මඳ සුළඟේ ලෙලැදෙමින් රඟන ළදළු ද දන්නේ නැත. එනිසා ම මම මේ පින්තූරය "දේවදාසී" නමින් නම් කළෙමි...!!!


















Share/Bookmark