Thursday, December 12, 2019

සුජිත් රත්නායකගේ “තනි අඛණ්ඩ රේඛාව“


ලෝකයේ විස්මිත ම සොයා ගැනීම් ඇත්නම් ඒ කිහිපයක් පමණි.
මුලින් ම මිනිසා එවකටත් ලොව පුරා තිබුණු ගින්දර යළි ඇති කර ගන්නේ කෙසේදැයි සොයා ගත්තේ ය. ඉනපසු මේ මිහිතලය මත කිසිදා ක නොතිබූ රෝදය නිර්මාණය කලේ ය... ඊටත් බොහෝ කලෙකට පසු දුරකතන සන්නිවේදන ක්‍රමය සොයා ගත් පසු ලෝකය බොහෝ සෙයින් දියුණුවෙන් දියුනුවට පත් විය.
මිනිසා වානර යුගයෙන් මිදී මානවයකු වූයේ එක් සැණෙන් නොව වසර මිලියන ගණනක ඇවෑමෙන් පරිණාමය වීමෙනි. ඒ පරිණාමීය ක්‍රියාවලිය මීට අවුරුදු සිය දහසකට පෙර ඇනහිටින්නට ඇති අතර, මතුපිටින් පෙනෙන රූපය මිසෙක, එතෙක් මෙතෙක් මිනිසා නිර්මාණය වී ඇත්තේ කෙසේදැයි කිසිවෙක් දැන සිටියේ නැත. මේ
මිනිසාගේ අස්ථි පඤ්ජරය, මාංශ පේශී, රුධිර සංසරණ පද්ධතිය ආදී සියල්ල ම ගැන අංග සම්පූර්ණ රූප සටහන් සහිත විස්තරයක් මුලින් ම ලෝකයා ඉදිරියේ දිග හරිනු ලැබුවේ ලෝකප්‍රකට චිත්‍ර ශිල්පියකු, විද්‍යාඥයකු වූ ලෙනාඩෝ ඩාවින්සි (14 52 - 1519) විද්වතානන් විසිනි.
මිනිසාගේ රුධිර සංසරණ පද්ධතිය ස්වභාව ධර්මයාගේ අපූරු ම නිමැවුමකි. එය සහමුලින් ම සංවෘත පරිපථයකි. මිනිස් රුධිරය ශරීරයේ මොන ම තැනකින්වත් නාලිකාවකින් පිටතට පැමිණෙන්නේ නැත. මිනිස් හෘදයේ කෝෂිකා හතරකින් නොනැවතී පොම්ප කරන රුධිරය, සංස්ථානික, පුප්පුසීය සහ කිරීටක ධමනී මගින් ශරීරය පුරා බෙදා හැරෙන්නට පටන් ගනී. ඒ රුධිරය ඔක්සිජන්වලින් පරිපූර්ණ ය. එහි ඇති ඔක්මේසිජන් ශරීරයේ කුදු මහත් කාර්යාවලියන්ට වැය වූ පසු එකතු වන කාබන් ඩයොක්සයිඩ් සහිත රුධිරය ශිරා පද්ධතිය මගින් යළි හෘදය වෙත ගෙන එයි. එසේ එන රුධිරය පෙනහලු වෙත පොම්ප කොට එහි කාබන්ඩයොක්සයිඩ් පිටතට යවා පිරිසිදු කොට ඔන්සිජන්වලින් යළි සන්නද්ධ ව යළි හෘදය වෙත එයි. ඒ රුධිරය ඉ ළඟට මොළයටත්, ශරීරයේ අනෙක් අවයවයන් සියල්ලටමත් යැවෙයි. මේ මහා ධමනි ඉන්පසු කුඩා කේෂනාලිකා බවට පරිවර්තනය වෙමින් සිරුරේ සියලු ම සෛල කරා යන අතර, එයින් පසු යලි සියුම් කේෂනාලිකා මගින් ශිරා බවට පත් වෙයි. මේ එක් රතු රුධිරානුවක්වත් ඒ නාලිකාවකින් පිටතට පැමිණෙන්නේ නැති ලෙස ම රුධිර සංසරණ පද්ධතිය සංවෘත එක්ක බවට පත් ව තිබේ. මිනිසා දක්ෂයෙක්, ප්‍රවීනයෙක්, විදග්ධයෙක්, විශ්වකර්මයෙක්, වසලයෙක්, අලජ්ජියෙක්, හීපාටුවෙක් වෙන්නේ ද මේ එක් තැනෙකින් පටන් ගෙන මොන ම ආකාරයකින්වත් නොබිඳී, නොකැඩී කිමී දහස් ගණනක් දිග රුධිර කේශනාලිකා පද්ධතියකින් ගමන් කර යළිත් ආරම්භක ම ස්ථානයට එන රුධිර අංශූන් නිසා ම ය...!
මුහුණේ අති දහස් ගණනක් පේශීන් ක්‍රියාකරවමින් සිනාව, දුක, පස්ඡාත්තාපය, වේදනාව, කෝපය, උපහාසය ඈ දහසක් සන්නිවේදනයන් උත්පාදනය කරන්නේ ද ඒ මාහපේෂීන් සියල්ල රුධිරයෙන් පෝෂණය වන නිසා ය. ඔබ යමක් සිතන්නේ ද, අතක් පයක් අරමුණක් සහිත ව චලනය කරවන්නේ ද ඒ නිසාම ය..

එයින් වසර සිය ගණනකට පසු මිනිසා විසින් ම සොයා ගත් විදුලිය ද එවැනි ම සංවෘත පරිපථයකි. එහි කොතැනකින්වත් කෙළවරක් අවසන් වන්නේ නැත. ධණ වයරය දිගේ එන විදුලි ධාරාව නැවත එහි නිෂ්පාදනාගරයට ම රැගෙන යන්නේ ඍණ වයරය මගිනි. එහි ගමන අංහුවකින් හෝ බිඳුනොත් විදුලිය ඉන් එහාට ගමන් කරන්නේ නැත විදුලිය නැතිනම් ඉන් නිෂ්පාදනය වන ආලෝකය ද, තාපය ද ආදී කිසිවක් ම උත්පාදනය වන්නේ නැත.
එක් තිතකින් පටන් ගෙන මෙවන් අතිශය සංකීර්ණ ගමන් පද්ධතියකින් පසු යළි ආරම්භක තිත වෙතට පැමිණෙන රුධිර සෛලයක් මොන තරම් දේ නිර්මාණය කරන්නේ ද යන්න අපට නිවී සැනසිල්ලේ සිතන්නට පටන් ගත හැකි මුත්, එහි කෙළවරක් සිතා ගන්නටවත් අපහසු ය. බලාගාරයේ ඩයිනමෝවෙන් නිකුත් වන අධිබල විදුලි දහරාවත් රටේ හැම හද්දිග්බාගයක ම රිංගා ගොස් අවසන දායාද කරන දේ අපට වරු ගණනක් තිස්සේවත් ලියා අවසන් කළ නොහැකි ය...!
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හුංගම ග්‍රාමයේ පරසිද්ද සිත්තර පවුලක වැඩිමහල් සිත්තරා වූ සුජිත් රත්නායක ද එවන් විශ්ව කර්මයෙක් ම ය...! හේ මුලින් වඩා දක්ෂ වූයේ රූප අඹීමට හෙවත් මූර්ති කලාවට ය. ඔහු කොළඹ හෝර්ටන් පෙදෙසේ සෞන්දර්ය විශ්වවිදයාලයට ඇතුළත් වන්නේ ද මූර්ති කලාව සහ ශිල්පය වැඩි දුර හදාරන්නට ය. එහෙත් ඔහු ඉන් එළියට එන්නේ විශිෂ්ට පින්තාරුකරුවෙක්, නිර්මාණ ශිල්පියෙක් විදිහට ය. ඔහු මීට කලින් පවත්වන ලද ප්‍රදර්ශන හය හත ම චිත්‍ර ප්‍රදර්ශන ම විය. හේ නිර්මාණ පරිකල්පනයට මෙන් ම ලේඛණයට ද, භාෂණයට ද එකසේ සමත් කම් දක්වන්නෙකි.
ටික කලෙකට පෙර ඔහු විසින් පවත්වන්නට යෙදුණු චිත්‍ර ප්‍රදර්ශනය නරඹන්නට යාම මගේ අයහපත් ශරීර සෞඛ්‍යය විසින් මැඩ පවත්වනු ලැබූව ද, ඔහු මවෙත කළින් එවන ලද චිත්‍ර නිර්මාණ දැක ආලෝලනය වූ මසිත ඊට පූර්විකාවක් ලියන්නට බල කරනු ලැබී ය. එහෙත් මම ඉන් මහත්සේ අසරණ වීමි.
එක ම ලක්ෂයකින් පටන්ගෙන සිය සිතේ මතුවන මහා සිතිවිලි සමුදායක් අංශුවකින් හෝ වෙනස් නො කර, නොකැඩුණු තනි ඉරක් ලෙස කැන්වසය මත සනිටුහන් කරන පරිකල්පනය, චිත්තාවලි සමූහය මා විස්මයට ද, අමන්දානන්දයට ද පත් කර ලී ය..!!
එය මට කර බැලිය හැකිදැයි මොහොතකට සිතමි. පටන් ගන්නට පුලුවන. නමුත් අඩු තරමින් කඩදාසියේ, කැන්වසයේ වපසරියවත් හරියට ප්‍රමාණ කර ගන්නට මම අපොහොසත් වෙමි. මෙසේ ඇඳගෙන යන රේඛාවෙන් ගම්‍ය වන්නේ කුමක්දැයි මොහොතකටවත් සිතා ගන්නට අපොහොසත් ව උකටලී වෙමි. ඒසේ තනි ඉරකින් චිත්‍රයක් ඇඳගෙන යන්නට ඇවැසි මානසික ඒකාග්‍රතාව නොමැති බැවින් විස්සෝපයට ද පත් වෙමි.
එකල් හි මම චිත්‍රයකට බද්ධ කළ නොහෙන වචන ගොන්නකින් දමා ගසමින් අසම්පූර්ණ සටහනක් ඔබට දෙමි.
එනිසා ම සුජිත් රත්නායක Sujith Rathnayake මළණුවනි, මම ඔබ කෙරෙහි අතිශයින් ඊර්ෂ්‍යා පරවශ වෙමි...!!
මෛ ප්‍රදර්ශනය පවත්වන්නට යෙදුනේ 2018 ජූනි මාසෙ 28 වෙනිදා සිට ජුලි මාසයේ 18 වන දා තෙක්, කොළඹ කොල්ලුපිටියේ, පැරඩයිස් රෝඩ් The Gallery Café - Restaurant, 2 Alfred House Rd, Colombo පෞද්ගලික කලාගාරයේ ය. 
ඒ නරඹා මසිත ඇති වූ සිතිවිලි ගොන්න පසු සටහනක් ලෙස මෙසේ ලියා තබමි.













Share/Bookmark

No comments:

Post a Comment