Wednesday, June 14, 2023

ෆොටෝෂොප් භාවිතයෙන් ෆෝකස් ස්ටැක් Focus Stack කිරීම

අප අතිශයින් සමීප ඡායාරූපයක් ගත් විට, එහි විවරය අනුව අපට ලැබෙන ඡායාරූපයේ ක්ෂේත්‍ර ගැඹුර අතිශයින් අඩු බව අපි දනිමු. නමුත් සමහර විට, මෙවන් සමීප රූපයක වුව ද, එහි වඩා විස්තරාත්මක ඡායාරූපයක් අපට පෙන්වන්නට හෝ ගන්නට සිදු වූ විටෙක අප බොහෝ අසරණ වන්නේ ය.

ඊට විකල්පයක් ලෙස ෆොටෝෂොප් භාවිතයෙන් අපට පින්තූර ගණනාවක් අසුරු සැණින් එකම තලයක් මත අලවා ගන්නට පහසුකම් සලසා දෙයි.

පළමුවෙන් ම අප අපට අවශ්‍ය කරන ඡායාරූපය ගැන මූලික සැලැස්මක් සාදා ගත යුතු ය. සජීවී කුඩා සතකු හෝ චලනය වන වස්තුවක හෝ එවන් පින්තූරයක් ගැනීම ද දුෂ්කර ය. එනිසා නිශ්චල වස්තුවක සැලසුම් සහගත ව ස්ටැක් කළ යුතු ඡායාරූප ගැනීම පහසු ය.

ඡායාරූප ගත කිරීමට පෙර කැමරාව ත්‍රිපාද පීඨයක කවි කර ස්ථාවර රාමුවක් සකසා ගන්න. දැන් ඔබට ඡායාරූප ගත කළ යුතු වස්තුව දෙසට කැමරාව මානන්න. ඉන් පසු අනාවරණ දත්ත ගැන සැලකිළිමත් ව බලා, නිවැරදි අනාවරණ සැකසුම් දෙන්න. කාචයේ ඕටො ෆෝක්ස් පහසුකම ඕෆ් කර, එය මැනුවල් ආකාරයට සකසන්න.

දැන් ඔබට අවශ්‍ය වස්තුවේ කැමරාවට ආසන්න ම ස්ථානයේ සිට, ක්‍රමයෙන් ඈතට යන සේ එකින් එක සීරුවෙන් නාභි ගත කරමින් ඡායාරූප කිහිපයක් ම ගන්න. මෙසේ පින්තූර ගනිද්දී, කාචය සූමි වීම හෝ, කැමරාව සෙලවීම හෝ අරමුණ සෙලවීම වැනි දෝෂ හැකි තරම් අවම කර ගන්න.

දැන් ෆොටෝෂොප් මෘදුකාංගය විවෘත කර ගන්න. ඉන්පසු ඔබ මුලින් ම ගත් ඡායාරූපය ඒ මතට ඩ්‍රෑග් කරන්න. එවිට එය නව කැන්වසයක් ලෙසින් එහි විවෘත වෙයි. ඊට පසු අනෙක් පින්තූර සියල්ල ම සිලෙක්ට් කොට, එක වර මේ කැන්වසය මතට ඩ්‍රෑග් කරන්න. එවිට ඒවා එකින් එක ස්මාට් ඔබ්ජෙක්ට් Smart Object ලෙසින් විවෘත වෙයි. සෑම පින්තූරයක් ම විවෘත කර ගන්නට එකින් එකට එන්ටර් යතුර ඔබන්නට ද ඔබට සිදු වෙයි. 


 දැන් ලේයර් පැලටය දෙස බලන්න. එහි ඔබේ සියලු ම ඡායාරූප ස්මාට් ටැග් ලේයර් ලෙසින් දිස් වෙයි. 

ඒ සියල්ල සිලෙක්ට් කොට ඒ මත රයිට් ක්ලික් කරන්න. මතු වන මෙනුවෙන් ඒ සියල්ල රැස්ටරයිස් Rasterize කරන්න. 


 ඊට පසු එඩිට් මෙනුවට යන්න. එහි මැද හරියේ ඇති ඕටො එලයින් ලේයර්ස් Edit > Auto Aline Layers විධානය සක්‍රිය කරන්න. 

 එවිට මතු වන සංවාද කොටුව දෙස බලා, වඩා නිවැරදි සැකැස්ම දෙන්න. 

කැමරාව ට්‍රයිපොඩ් කොට ඇත්නම් එහි ඕටො විකල්පය දීම හොඳටම සෑහෙයි. දැන් මේ කැන්වසය මත ඇති ලේයර් සියල්ල හරියට ම එක මත සිටින සේ සැකසෙයි.

ඉන් පසු යළිත් එඩිට් මෙනුවට යන්න. එහි ඇති ඕටෝ බ්ලෙන්ඩින් ලේයර්ස් Edit > Auto Blending Layers විධානය සක්‍රිය කරන්න.


 එවිට ද සංවාද කොටුවක් මතු වෙයි. එහි ස්ටැක් Stack විකල්පය තෝරා ගන්න.


 ඊට පසු ස්වල්ප වේලාවක් ගත වී, සියලු ම ලේයර මත ස්වයංක්‍රීය ව මාස්ක් සෑදී, මුල සිට අග දක්වා ම නිවැරදි ව නාභි ගත වූ ඡායාරූපයක් මොනිටරය මත දිස් වෙයි.....!!!!



Share/Bookmark

9 comments: