Wednesday, May 25, 2011

ස්ටාර් ෆිල්ටරයක් හදමු

ස්ටාර් ෆිල්ටරය Star Filter යනු ඡායාරූප ශිල්පීන් අතිශය කැමැති පෙරණ වර්ගයකි. ඡායාරූපයේ දිලිසෙන තැන් මෙන් ම ආලෝක ලප මත ද තරුවක හැඩැති දිදුලවීමක් සටහන් කරන බැවින් ඉන් ඡායාරූපයට ලැඛෙන්නේ අතිශය සුන්දර වටිනාකමකි. ස්ටාර් ෆිල්ටරයක් තරමක මිලක් වුව ද, එය නිරන්තරයෙන් ම කාචය මත සවි කොට ඡායාරූප ගතහොත් සියලූ ම රූප කොටස් මත ඇසට පෙනෙන නොපෙනෙන දිදුලවීම් සටහන් වන නිසා එම ඡායාරූපය පමණට වඩා ඩිෆියුස් වී පෙනීම සිදු වේ. එය එතරම් සුබ කාරණයක් නොවේ. එනිසා ෆොටෝෂොප් ශිල්පියෙකු ට අවශ්‍ය තැනට පමණක් මේ ෆිල්ටරය යෙදීමේ වාසනාවන්ත පහසුකම ලැබේ. ඔබ මේ ෆිල්ටරයක් සාදා ගත යුත්තේ ජීවිතයට ම එක් වරක් පමණි. ඊට කිසිම මිලක් වැය නොවන අතර පසුව වුව ද අමතර වියදමක් සිදු නොවේ.

දැන් අපි පියවරෙන් පියවර මේ ෆිල්ටරය සාදා ගන්නා අයුරු බලමු.


පළමුවෙන් ම අලූත් කැන්වසයක් සාදා ගන්න. එහි රෙසොලුෂන් 300ppi, දිග පළල පික්සල් 500 බැගින් ද විය යුතු ය. එහි නම Star Filter ලෙස නම් කරන්න. පසුබිම ට්‍රාන්ස්පේරන්ට් Transparent වීම වඩා පහසු ය.
දැන් මේ හිස් කැන්වසය මතට ගයිඩ් ලයින් දෙකක් දමා ගන්න. මෙම ගයිඩ් ලයින් නිවැරදි ව කැන්වසයේ හරි මැදට දමා ගැනීම අපහසුනම්, විධානය දී මුළු කැන්වසය ම සිලෙක්ට් කර ගන්න. ඉන් පසු ඕනෑම සිලෙක්ෂන් ටූලයකට ගෙන, ඉන් මේ කැන්වසය මැදට රයිට් ක්ලික් කරන්න. එවිට මතුවන මෙනුවෙන් ට්‍රාන්ස්ෆෝම් කොන්ට්‍රෝල් විධානය දෙන්න. එවිට මේ සිලෙක්ෂන් එක වටා නෝඩ් මහිත කොටුවක් සෑදේ. දැන් රූලරයට ක්ලික් කොට ඇද ගෙන ආ විට ඉබේ ම ගයිඩ් ලයින් එකක් සෑදේ. (රෑලරය පෙනෙන්නේ නැතිනම් විව් මෙනුවේ මැද ඇති රෑලර්ස් මෙනුව සක්‍රිය කරන්න.) මේ ගයිඩ් ලයින් එක මූව් ටූලය මගින් ඇදගෙන යන විට හරි මැද දී පැටලෙන ගතියක් දැනේ. එ අයුරින් දෙපැත්තට ම ගයිඩ් ලයින් දෙකක් දමා ගන්න. ඉන් පසු ඉලිප්ටිකල් මාර්කී ටූලය Elliptical Marquee Tool තෝරා ගෙන ඉන් මේ කැන්වසය පිරෙන්නට වෘත්තයක් ඇඳ ගන්න. ශිෆ්ට් යතුර ඔබාගෙන ම ඇඳීමෙන් එය කළ හැකි ය. ඇඳුනේ කුඩාවට නම් සිලෙක්ෂන් ටූලයේ සිටිමින් ම රවුම මැදට රයිට් ක්ලික් කරන්න. මතුවන මෙනුවෙන් Transform Selection ඇක්ටිව් කරන්න. අවශ්‍ය ප්‍රමාණයට රවුම සකසා ගන්න.
රවුම සාදා ගත් පසු මේ සිලෙක්ෂන් එක කළු පාටින් පුරවා ගන්න. වර්ණය පුරවා ගත් පසු සිලෙක්ෂන් එක ඉවත් කරන්න. ඒ සඳහා සිලෙක්ට් මෙනුවේ ඩීසිලෙක්ට් Select > Deselect විධානය හෝ Ctrl + D ෂෝට් කට් එක හෝ භාවිතා කරන්නට පුලුවන. ඉන්පසු බ්‍රෂ් ටූලය ඇක්ටිව් කොට පින්සලයේ වට ප්‍රමාණය 9ක් පමණ වනසේ සකසා එහි බ්‍රෂ් පැලටයට යන්න. එහි මුලින් ම ඇති ෂේප් ඩයිනමික්ස් Shape Dynamics හි Size Jitter හි Control කොටුව ෆේඩ් Fade ලෙස තෝරා පික්සල් ප්‍රමාණය 200ක් කරන්න. එමෙන් ම බ්‍රෂ් ටිප් ෂේප් Brush Tip Shapeහි යට ම ඇති ස්පේසින් Spacing යන්න හැකි තරම් අවම කරන්නත් අමතක කරන්න එපා. එහි පරතරයක් තිබුනොත් ඉර සටහන් වන්නේ තිත් තිත් ලෙසිනි.
ලේයර් පැලටයේ යට ම ඇති කඩදාසියක් නැවුවා වැනි ක්‍රියේට් නිව් ලේයර් Create New Layer අයිකනයට ක්ලික් කොට, අලූත් ලේයරයක් සාදා ගන්න. කැන්වසයේ හරි මැද ට බ්‍රෂ් තුඩ තබා ශිෆ්ට් යතුර ඔබාගෙන ම ක්ලික් කොට ඩ්‍රෑග් කරන්න. එවිට ක්‍රමයෙන් කෙළවර සිහින් වන රේඛාවක් ඇඳේ. මේ ආකාරයට හතර පැත්තට ම රේඛා ඇඳ ගන්න.

රේඛා සහිත ලේයරය ක්‍රියේට් නිව් ලේයර අයිකනය මතට ඩ්‍රෑග් කිරීමෙන් හෝ Ctrl + J විධානය දීමෙන්, නව පිටපතක් සාදා ගන්න. ඉන්පසු ෆ්‍රී ට්‍රාන්ස්ෆෝර්ම් Ctrl + T විධානය මගින් ඒ දෙවන රූපය තරමක් කුඩා කොට, ඔප්ෂන් බාරයේ ඇති ඈන්ගල් Angle කොටුව මත 45 ටයිප් කරන්න. සැනෙකින් රූපය අංශක 45 කට කරකැවේ.
දැන් මේ රේඛා සහිත ලේයර දෙක ම ලින්ක් කොට මර්ජ් Merge කර ගන්න. එය කරන්නට නම් පළමුව Ctrl යතුර ඔබාගෙන ම පැලටය මත එම ලේයර් දෙකට ක්ලික් කරන්න. ඊට පසු ලේයර පැලටයේ දකුණු උඩ දාරයේ ඇති සයිඩ් ඇරෝවට ක්ලික් කළ විට මතුවන මෙනුවෙන් මර්ජ් ලින්ක් Merge Link නැතිනම් (Ctrl + E) විධානය දෙන්න. සැනෙකින් ලේයර දෙක ම එකක් බවට පත් වෙයි. දැන් මේ කතිර රූපය පමණක් සිලෙක්ට් කර ගත යුතු ය. කන්ට්‍රෝල් යතුර ඔබාගෙන ම, ලේයර් තම්නේලයට ක්ලික් කළ සැණින් එම රූපය සිලෙක්ට් වෙයි.
මේ රූපය සිලෙක්ට් කළ පසු එය දේදුනු වර්ණයෙන් වර්ණ ගන්වා ගත යුතු ය. එය ඉතා පහසුවෙන් ග්‍රේඩියන්ට් ටූලයෙන් Gradient Tool ඉටු කර ගන්නට හැකි ය. දැන් ග්‍රේඩියන්ට් ටූලය ඇක්ටිව් කොට, ඔප්ෂන් බාරයේ ග්‍රේඩියන්ට් පැලටයෙන් වර්ණ විශාල සංඛ්‍යාවක් ඇති ස්පෙක්ට්‍රම් Spectrum විකල්පය තෝරාගෙන ඊට ඩබල් ක්ලික් කරන්න. එවිට ග්‍රේඩියන්ට් එඩිටර් Gradient Editor සංවාද කොටුව මතු වෙයි. එහි ස්ලයිඩරය මගින් වර්ණ අවශ්‍ය පරිදි සකසා ගන්න. ආරම්භය වඩා සුදු ලෙස සකසන්න.
දැන් ඔප්ෂන් බාරයේ ඇති 2 වැනි රේඩියල් ග්‍රේඩියන්ට් ටැබ් එකට ක්ලික් කොට සිලෙක්ට් වී ඇති රූපයේ හරි මැද සිට කෙළවරට ග්‍රේඩියන්ට් එක යොදන්න.දැන් Ctrl + D විධානය මගින් සිලෙක්ෂන් එක ද අහෝසි කරන්න. ඊට පසු ෆිල්ටර් මෙනුවේ බ්ලර් හි ගෂන් බ්ලර් විධානය Filter > Blur > Gaussian Blur මගින්, මේ කතිරය තරමක් බ්ලර් කරන්න. ඉන්පසු ගයිඩ් ලයින් මූව් ටූලය මගින් නැවත රූලරය දෙසට ඇදගෙන ගොස් අත හැරීමෙන් ඉවත් කර ගන්න. ඉන් පසු මේ වර්ණ ගැන්වූ කතිරය, යට ඇති කළු රවුම සමග මර්ජ් ලින්ක් කර ගන්න.දැන් ෆිල්ටර් මෙනුවේ රෙන්ඩර් හි ලෙන්ස් ෆ්ලෙයාර් ෆිල්ටරය Filter > Render > Lens Flair තෝරන්න.

මතුවන සංවාද කොටුවෙන් රූපයේ පෙනෙන ආකාරයට අදාල දත්ත සකසන්න. දිදුලන ස්ථානය මවුස් පොයින්ටරයෙන් ක්ලික් කරන තැන නවතින නිසා නිවැරදි ම ස්ථානය තෝරා ගන්න. එය කතිරයේ හරි මැද නොවිය යුතු යි.
10 රූපය. දැන් අප අවසාන අදියරට පැමිණ සිටින්නෙමු. ලෙන්ස් ෆ්ලෙයාර් ෆිල්ටරය යෙදූ රූපය සහිත ලේයරයේ මෝඩ් එක ස්ක්‍රීන් Screen ලෙස වෙනස් කරන්න. කිසි ම වෙනසක් ඔබට නො පෙනෙයි.

දැන් මෙසේ සාදා අවසන් කර ගත් මේ ගැජට්ටුව, පහසුවෙන් සොයා ගත හැකි, අමතක නොවන තැනක Star Filter නමින් ම, ටිෆ් ගොනුවක් Tiff File ලෙස සේව් කර ගන්න. එහි කලර් මෝඩ් Colour Mode එක RGB ලෙසින් තිබිය යුතු ය. CMYK විය යුතු නම් එය අවසානයේ දී කළ යුතු ය.

ඊට පසු මේ ස්ටාර් ෆිල්ටරය ඔබ කැමැති අදාල වන රූපයක් මතට ඩ්‍රෑග් කොට බලන්න. කොපි පේස්ට් කිරීමෙන් එය නිවැරදි ව ක්‍රියාත්මක නොවේ. එහි මෝඩ් එක ස්ක්‍රීන් නිසා කළු පැහැය නොපෙනෙයි. නමුත් අනෙකුත් වර්ණ සියල්ල ම පෙනෙයි.

Share/Bookmark

Thursday, March 31, 2011

හෙණ ගහන වැඩ

මේ අප්‍රෙල් මාසය, සිංහල අවුරුදු සමයට වාගේ ම අකුණු සඳහාත් ප්‍රසිද්ද ය. අකුණු ඡායාරූප ගත කිරීම අකුණකින් බේරෙනවා වාගේ ම අමාරු වැඩකි. රාත්‍රී කාලයේ දී නම් අකුණු වදින ආකාරය ඡාවාරූප ගත කිරීම පහසු ය. නමුත් දහවල් කාලයක අකුණු වදින අයුරු ඡායාරූප ගත කිරීමටනම් ඒ සඳහා ම විශේෂයෙන් නිර්මිත ආලෝක සංවේදී ද්වාර පාලකයක් මිලට ගත යුතු වෙයි.

නමුත් ෆොටෝෂොප් මෘදුකාංගය භාවිතයෙන් ඔබට කැමැති වේලාවක, කැමැති ඡායාරූපයක් මත අකුණක් සටහන් කර ගත හැකි ය.

පළමුවෙන් ම රෙසොලූෂන් 200ක් වන අඟල් 5 x 7 ප්‍රමාණයේ අලුත් කැන්වසයක් සාදා ගන්න.
ඉන්පසු කලර් පැලටයේ වර්ණ දෙක කළු සහ සුදු ලෙස සකසන්න. ඊට පසු ග්‍රේඩියන්ට් ටූලය සක්‍රිය කොට. එහි ආකාරය ලීනියර් Linear ලෙසින් ගෙන පින්තූරයේ පෙනෙන ආකාරයට ග්‍රේඩියන්ට් එකක් දමා ගන්න.
දැන් ෆිල්ටර් මෙනුවේ රෙන්ඩර් හි ඩිෆරන්ස් ක්ලවුඩ් Filter > Render > Deference Clouds ෆිල්ටරය ඊට ආදේශ කරන්න. එවිට කැන්වසය මේ ආකාරයට දිස්වෙයි. ඉන් පසු ඉමේජ් මෙනුවේ ඇඩ්ජස්ට්මන්ට්හි ඉන්වර්ට් විධානය Image > Adjustment > Invert (Ctrl + I) මගින් එය ප්‍රතිලෝම කරන්න. එවිට එය මේ ආකාරයට දිස් වෙයි. දැන් නැවත ඉමේජ් මෙනුවේ ඇඩ්ජස්ට්මන්ට්හි ලෙවල්ස් විධානය Image > Adjustment > Levels (Ctrl + L) දෙන්න. එවිට සංවාද කොටුවක් මතු වෙයි. තිර රූපයේ දැක්වෙන ආකාරයට එහි සුදු පැහැය අවම කරන්න. එවිට කැන්වසයේ රූපය තනි කළු වන අතර, සිහින් සුදු රේඛාවක් පමණක් ඉතිරි වෙයි. ඊට පසු මේ රූපයේ ඇති අනවශ්‍ය කොටස් කළු පාටින් වසා දමන්න. දැන් අපි අකුණක මූලික හැඩය සාදා ගෙන අවසන් ය. ඉන් පසු අප කළ යුත්තේ මේ අකුණ තවත් රූපයක් මත ට ගෙන යාම ය. ඒ සඳහා ඔබ කැමති රූපයක් තෝරා ගන්න. එය විවෘත කර ගෙන ඒ මතට මේ සාදා ගත් රූපය ඩ්‍රෑග් කර ගන්න. එසේ ගත් මේ අලුත් රූපය අලුත් ලේයරයක පිහිටන අතර, ඒ ලේයරයේ මෝඩ් එක ස්ක්‍රීන් ලෙස සකසන්න. එවිට සැනෙකින් එහි කළු පාට නොපෙනී සුදු පාට රේඛාව පමණක් ඉතිරි වෙයි. දැන් ට්‍රාන්ස්ෆෝම් විධානයෙන් එම රූපය අවශ්‍ය ආකාරයට සකසා ගන්න. කොන්ට්‍රෝල් යතුර ඔබාගෙන එහි කෙළවරවල පෙනෙන නෝඩ්වලින් අල්ලා ඔබට කැමති ආකාරයට එම රූපය සකස් කර ගන්නට ඔබට පුලුවන. දැන් Ctrl + J විධානය මගින් මේ අකුණු ‍රූපයේ නව පිටපතක් ඒ මත ම සාදා ගන්න. එය ෆිල්ටර් මෙනුවේ බ්ලර් හි ගෂන් බ්ලර් මගින් එය තරමක් බ්ලර් කර ගන්න. එසේ බ්ලර් කළ රූපයේ ම තව පිටපත් දෙක තුනක් Ctrl + J විධානය මගින් ම සාදන්න. ඒවා සෑදෙන්නේ ස්ක්‍රීන් ආකාරයට ම ය. ඉන් පසු ‍ඉහළ ම ලේයරය සක්‍රිය කොට Ctrl + E (Merge Down) විධානය මගින් ඒ බොඳ කළ රූප ටික එකට පිළිවෙලට පහළට එකතු කර ගන්න. (මුල් අකුණ හැර) එවිට එම රූප යළි කළු පාට වෙයි. දැන් මේ කළු පදාසය ඉමේජ් මෙනුවේ ඇජස්ට්මන්ට් හි බ්‍රයිට්නස් කන්ට්‍රාස්ට් Image > Adjustment > Brightness Contrast මගින් යළි කළු සුදු අතර අන්තරය දැඩි කරන්න. යළි බ්ලර් කරන්න. ඉන් පසු යළි එහි ලේයර් මෝඩ් එක ස්ක්‍රීන් කරන්න. දැන් එහි අනවශ්‍ය දිලිසීම් පෙනෙයිනම් ඉරේසරය ගෙන ඒවා මකා දමන්න. මේසේ අවසන් කළ පසු සියලු ලේයර එකට අලවාගෙන එය සේව් කර ගන්න. අරයාට මෙයාට හෙණ ගහපන් කියනවාට වඩා මේ ක්‍රමය ලෙහෙසි ය...!!!

Share/Bookmark

Friday, January 14, 2011

අකුරුවලින් ෆොටෝ හදමු..!!

ඔබේ ඕනෑ ම කළු සුදු ඡායාරූපයක් අකුරුවලින් තැනුවාක් මෙන පෙනෙනන්ට සකස් කළ හැකි ය. මේ සඳහා භාවිතා කරන්නේ ලේයර් මෝඩ් Layer Mode හි ස්ක්‍රීන් Screen ආකාරය පමණි.

මුලින් ම කළ යුත්තේ අවශ්‍ය ඡායාරූපයක් සොයා ගැනීමයි. ඉන් පසු ඒ පින්තූරය ඉමේජ් මෙනුවේ ඈජස්ට්මන්හි ඩිසැචුරේට් Image > Adjustment > De saturate විධානය මගින් අළු පැහැයට හරවා ගන්න. ඊට පසු එහි පැහැ අන්තරය හැකි තරම් දැඩි කරන්න. මේ සඳහා ඔබට ආකාර කිහිපයක් ම භාවිතා කළ හැකි ය. ඉමේජ් මෙනුවේ ඈජස්ට්මන්ටි හි ලෙවල් Levels, කර්ව්ස් Curves හෝ බ්‍රයිට්නස් කන්ට්‍රාස්ට් Brightness contrast ඒ ආකාර තුනයි.
දැන් මේ පින්තූරය සහිත ලේයර් පැලටයේ ලේයරය මත ඩබල් ක්ලික් කරන්න. එවිට ලේයර් ප්‍රොපටි Layer Property වින්ඩෝව මතු වී එය නම් කරන්නැයි ඔබට කියාවි. එය ඕකේ කරන්න. ඊට පසු ලේයර් පැලටයේ යට දාරයේ ඇති කඩදාසියක් නැව්වා වැනි ක්‍රියේට් නිව් ලේයර් Create New Layer රූප අයිකනයට ක්ලික් කර අලුත් හිස් ලේයරයක් සාදා ගෙන එය සුදු පාටින් පුරවා ගන්න. ඊට පසු මේ ලේයර් දෙක උඩ යට මාරු කර ගන්න.

දැන් කළ යුත්තේ අකුරු ටිකක් සකසා ගැනීමයි. ​මුලින් ම ටයිප් ටූලය සක්‍රිය කර, ඉන් මුලු ඉමේජය පිරෙන්න ම කොටුවක් ලකුණු කරන්න. ඊට කියන්නේ පැරග්‍රාෆ් බොක්ස් Paragraph Box කියායි. දැන් හැකි තරම් කුඩා පොයින්ට් ප්‍රමාණයක් තෝරාගෙන ඉන් ඔබ කැමැති වගන්තියක් ඒ මත ටයිප් කරන්න. නැතිනම් වෙනත් ටයිප් කරන ලද කුමන හෝ වගන්ති සහිත මෘදුකාංගයක් හෝ විවෘත කරගෙන එහි ඈති යමක් පිටපත් Copy කර ගත්තත් කමක් නැත.

එසේ ගත් වගන්තිය මේ පැරග්‍රාෆ් කොටුව පිරෙන තෙක් ම නැවත නැවතත් පේස්ට් Past කරන්න. අකුරු අතර පේළි ඉඩ හැකි තරම් අවම කර ගන්න. ඒ සඳහා ඔබට කැරැක්ටර් පැලටයේ උදව්ව ලබා ගන්නට පුලුවන.

දැන් කළ යුත්තේ අකුරු ලේයරය යටට දමා පින්තූරය සහිත ලේයරය උඩට ගැනීමයි. එසේ ගෙන එහි ලෙයර් මෝඩ් Layer Mode එක ස්ක්‍රීන් Screen ලෙස වෙනස් කරන්න. එවිට සැණෙකින් පින්තූරයේ කළු පාට හරහා යටින් ඈති අකුරු පෙනෙන්නට පටන් ගනී. මෙය කිසියම් වර්ණයකින් දකින්නට අවශ්‍යනම් එක්කෝ අකුරු ටික කැමැති වර්ණයකින් වර්ණ ගැන්විය හැකි ය. නැතිනම් පින්තූර ලේයරයට උඩින් අලුත් හිස් ලේයරයක් සාදා, එය ඔබ කැමැති වර්ණයකින් පුරවා එහි ලේයර් මෝඩ් එක ස්ක්‍රීන් ලෙස සැකසීමෙන් ද වර්ණ ගැක්විය හැකි ය.

Share/Bookmark

Monday, December 27, 2010

Multiplicity Photography බහුවිධ ඡායාරූප




ඡායාරූප ශිල්පය ලොව පහළ වූවාට පසු, තැණුනු විවිධ කැමරා අතර අධි තාක්ෂණික කැමරා සඳහා ඈත්තේ වෙසෙස් ස්ථානයක්. ඉන් බොහෝ වැඩ නොකෙරුණත්, කරන වැඩවලින් ලැබෙන්නේ විපුල ආනන්දයක්. මේ දැක්වෙන්නේත් එවැනි තාක්ෂණික විප්ලවයක්.

තත්පරයට රූප රාමු විශාල ප්‍රමාණයක් සටහන් කර ගත හැකි කැමරා අතිශයින් මිල අධික වෙයි. විදේශීය ඡායාරූප ශිල්පීන් අතලොස්සක් දෙනා අතර එවැනි කැමරා තිබුණ ද අප රට තුළ ඈත්තේ උපරිම වශයෙන් තත්පරයට රූප රාමු 11ක් සටහන් කර ගන්නා කැමරා පමණි. මේ බහුවිධ ඡායාරෑප ගැනීම සඳහා අපට ප්‍රධාන ක්‍රම දෙකක පිහිටාධාරය ලබා ගන්නට හැකි ය.

1. අධිවේගී ද්වාර සහිත කැමරාවකින් එකම අවස්ථාවක එක ම ඉසව්වක් නොනවත්වා ඡායාරූප ගත කිරීමෙන්. මේ සඳහා ද කැමරාව නොසෙල්වී එක ම ස්ථානයක තිබිය යුතු ය.

2. එක ම අරමුණක් විවිධ තැන්වල තබමින් රූප රාමු ගණනාවක් ලබා ගෙන ඒවා එකිනෙකට බද්ධ කිරීමෙන්. මේ සඳහා ද කැමරාව එක ම තැනෙක නිශ්චල ව තිබිය යුතු වෙයි.
එමෙන් ම, එක ම නාභි තලයක් Focal plain , එක ම අනාවරණ අගයක් Exposure value සහ එක ම කැමරා කෝණයක් Camera Angle භාවිතා කිරීම අනිවාර්යය වෙයි. එමෙන් ම පසු බිමේ තිබෙන වස්තූන් ද නොසෙල්වී තිබෙයිනම් වඩාත් හොඳ සහ පහසු ය.

අප මේ අත්හදා බලන්නට යොදා ගන්නේ අපේ දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවකු මෙන් ම නිරන්තරයෙන් ම සතත අභ්‍යාසයේ යෙදෙන ඡායාරූප ශිල්පියකු වන මිලින්ද වීරසේකරගේ http://www.facebook.com/home.php?#!/milindaw ඡායාරූප කිහිපයකුයි.

පළමුවෙන් ම විශාල පසුතලයක් තෝරාගෙන එහි ආලෝක තත්ත්වය මැනගෙන. එක ම අනාවරණ ප්‍රමාණයකට කැමරාව සකස් කර ගන්න. එය ශ්‍රමායික Manual විය යුතු ය. ඊ ළඟට කැමරාව එක ම නාභි තලයකය නාභි ගත කරන්න. එබේ අරමුණු සියල්ල ඒ තලයේ ම සිටින්නේනම් වඩා හොඳ ය.ඊට පසු කැමරාව හොඳ ත්‍රිපාද පීඨයක් Try-pod මත නොසෙල්වෙන සේ ස්ථාන ගත කරන්න. එසේ කළ පසු කැමරාව නොසොල්වා, ඡායාරූපයට හසු කර ගන්නා අරමුණ පමණක් වෙනස් කරමින් ඡායාරූප සටහන් කර ගන්න. මෙසේ කළ පසු කැමරාවේ කොටස අවසන් වෙයි.
ඉන් පසු අප ප්‍රයෝජනයට ගන්නේ ෆොටෝෂොප් මෘදුකාංගයයි. සියලු ඡායාරූප විවෘත කරගෙන, එක් ඡායාරූපයක් මතට අනෙක් ඡායාරූප සියල්ල ම පිළිවෙලින් ගෙන ආ යුතු ය.

කොපි Copy කොට පේස්ට් Past කිරීම හෝ ඩ්‍රෑග් Drag කිරීම හෝ යන දෙකින් එකක් මේ සඳහා භාවිතා කළ හැකි ය.

අප මේ කාර්යය සඳහා ප්‍රයෝජනයට ගන්නේ ලේයර් පැලටයේ ඈති ලේයර් මාස්ක් Layer Mask පහසුකමත්, පින්සල සහ පේන්ට් බකට් යන ටූල් දෙකත් පමණි.

පළමුවෙන් ම ටූල් පෙට්ටියේ ඈති කලර් පැලටය කළු සහ සුදු බවට හරවාගන්න. ඒ සඳහා යතුරු පුවරුවේ ඩී D අකුර එබීම සෑහේ. දැන් පින්සල් ටූලය සක්‍රිය කර ගන්න. කැන්වසය මත රයිට් ක්ලික් කළ විට බ්‍රෂ් ටූල් ප්‍රීසෙට් වින්ඩෝව ඈර ගත හැකි ය. ඉන් තුඩේ හැඩය නොවිහිදෙන දැඩි Hard ආකාරයක් තෝරා ගන්න. මේ පින්සල් තුඩේ ප්‍රමාණය ලොකු වරහන් යතුරු මගින් සීරු මාරු කර ගන්නට පුලුවන.



ඉන් පසු ලේයර් පැලටයේ යට දාරයේ ඈති අයිකන් පේළියෙන් මැද රවුමක් සහිත අයිකනය ක්ලික් කළ විට ලේයර් මාස්ක් විධානය සක්‍රිය කර ගත හැකි ය. එසේ එය සක්‍රිය කළ විට ලේයර් පැලටයේ ඉමේජ් තම්නේලයට Image Thumbnail යාබදින් සුදු කොටුවක් සටහන් වෙයි. දැන් ඔබ පින්සලය ගෙන කළු වර්ණයෙන් ඉමේජයේ තෝරාගත් අරමුණ වටා ඉරකින් වටයක් අඳින්න. ඒ අඳින ඉර ඔබට නොපෙනෙයි. (එය දකින්නට අවශ්‍යනම් අනෙක් සියලු ම ලේයර්වල ඈස් සළකුණක් සහිත කොටුවට ක්ලික් කර එහි විසිබිලිටිය Layer Visibility ඕෆ් කර ගන්න.)




මෙසේ ඈඳ අවසන පේන්ට් බකට් ටූලය ගෙන එම අඳින ලද රවුමට පිටින් කළු පාට පදාසයක් වත් කරන්න. මේ කළු පාට මගින් කෙරෙන්නේ ඉමේජය මත මාස්ක් එකක් දැමීමයි. එවිට ඉමේජයට කිසිදු හානියක් නොවී ඒ කොටස වසා දමන්නට අපට පුලුවන. එහි වැසුණු කොටසක් යළි අවශ්‍යනම් කළ යුත්තේ ඒ මත සුදු පාට ගෑම පමණකි.

එසේත් නැතිනම් එය ම තවත් ආකාරයකට කළ හැකි ය. පින්සලය ගෙන කළු පාටින් අදාල ලේයරයේ ඉමේජය මත සීරුවෙන් අඳින්න. එවිට අවශ්‍ය රූපය වැසෙයි. එසේ සම්පූර්ණයෙන් ම රූපය වැසුණු පසු, ඉමේජ් මෙනුවේ ඈජස්ට්මන්ට් හි ඉන්වර්ට් විධානය Image > Adjustment >Invert (Ctrl + I) දුන් විට, සැණෙකින් ඔබේ මාස්ක් එක අනිත් පසට අනුලෝම වෙයි. එවිට සිදු වන්නේ රූපය ඉතිරි වී පසුබිම වැසී යෑමයි. මේ ආකාර දෙකෙන් ඔබට පහසු ආකාරයක් තෝරාගෙන රූප මාස්ක් කර ගන්නට පුලුවන.

දැන් මෙසේ මාස්ක් කර ගත් ඉමේජය විසිබිලිටිය මගින් ඕෆ් කරන්න. එවිට යට ඈති ලේයරය පෙනෙන්නට පටන් ගනියි. මේ ආකාරයට සියලු ම ලේයර් මත මාස්ක් අඳිමින් අනවශ්‍ය රූප කොටස් වසා දමන්න. වසා අවසන් වූ පසු විසිබිලිටිය ඕෆ් කර යට ලේයරයට ද එසේ ම කරන්න. මෙසේ තිබෙන ලේයර් සියල්ල ම සක්‍රිය කරමින් මාස්ක් දමා ගන්න.

සියල්ල අවසන් වූ පසු යළි ඈස් රූපයට ක්ලික් කරමින් ඒවා දර්ශනය වන්නට සළස්වන්න. සියලු ම රූප කිසිදු අතුරු ආන්තරාවකින් තොර ව එක මත එක තිබෙණු ඔබට පෙනේවි. අවසානයේ මේ සියලු ලේයර් තනි ලේයරයක් ලෙසට ශිෆ්ට් කොන්ට්‍රෝල් ඊ Shift + Ctrl + E යතුරු මගින් මර්ජ් Merge කර ගන්න.



♦ නූතන ෆොටෝෂොප් නව සංස්කරණ සමග ඔබ මේ සංස්කරණය කර ගැනීම සඳහා මෙසේ වද විය යුතු ම නැත.
එක්කෝ කළ යුත්තේ මෙසේ වෙන් වෙන් ව ගන්නා සියළු ඉමේජ, එක ම කැන්වසයක් මතට ගෙන, ඒ සියල්ල ස්ටැක් කිරීම පමණි. ඊට අවශ්‍ය විධාන ඇත්තේ එඩිට් මෙනුවේ ය.
පළමු ව ඔටෝ අලයින් ලේයර්ස්. ඉන්පසු ඔටෝ බ්ලෙන්ඩ් ලේයර්ස්..



එසේත් නැතිනම් ෆයිල් මෙනුවේ ඕටොමේට් හි ස්ක්‍රප්ට් මෙනුවෙන් අදාලල සබ්මෙනුව තේරීම ය.


Share/Bookmark

Monday, December 20, 2010

මිලින්ද වීරසේකරගේ ඡායාරූප.


මිලින්ද වීරසේකර කියන්නෙ අපට ඉන්න තවත් දක්ෂ නිර්මාණ ශිල්පියෙක්.. නිරන්තරයෙන් සතත අභ්‍යාසයේ යෙදෙන්නෙක්. ඒ නිසා ම කාගේත් දැන ගැනීම සඳහා මිලින්දගේ මේ ඡායාරූප කිහිපයේ අඩුපාඩු පොදුවේ කතා කරන එක හොඳයි කියල හිතුණ.

01. ගල්කිස්ස වෙරළ තීරයේ සිටින මේ පුද්ගලයාගේ ඡායාරූපය දෙස බලන්න.ඡායාරූප ශිල්පයේ මූලික රීතීන් (නීති නෙමෙයි..අවශ්‍ය තැනෙකදී අත්‍යාවශ්‍ය වේ නම් පමණක් මේ රීතීන් වෙනස් කළ හැකියි.) අතර තියෙන එක් වැදගත් වගන්තියක් තමයි, එකිනෙක පරයා නැගෙන Merge අරමුණුවලින් තොර විය යුතු ය කියන එක. මේ මිනිසා පිටුපසින් තිබෙන බඩු මල්ල සහිත කොටස අපට පෙනෙන්නෙ තවත් කෙනෙක් සිටින ආකාරයටයි. එය වඩාත් හොඳින් අප ඈස ගැටෙන්නේ මෙහි තම්නේල් පින්තූරය දුටු විටයි. ඒ බඩු පොදියත් තවත් අරමුණක් සේ දැඩි ව නැගී සිටින නිසායවන්, මේ ප්‍රධාන සංසිද්ධිය යටපත් වී යයි.
​ෆොටෝෂොප් වැනි ප්‍රතිරූප සංස්කරණ මෘදුකාංගයක පිහිටෙන් ඒ බාධාව ඉතා පහසුවෙන් ඉවත් කර ගත හැකියි. එසේ කරන්නට නිර්මාණ ශිල්පියාට පූර්ණ අයිතියක් ද තිබේ..එසේ කළ විට මේ ඡායාරූපය ම පෙනෙන සැටි බලන්න.02. ගල්කිස්ස මුහුදු වෙරළ තීරයේ ම සිට, මුහුද දෙස බලා සිටින මේ කාන්තාව සහිත ඡායාරූපය ද අපට ලොකු කතන්දරයක් කියා පායි. නමුත් මේ ඡායාරූපයේ බැලුම් බෝල ගොන්නට යටින් පෙනෙන සුදු කමීසයක් ඈඳ සිටින පුද්ගල රූපය නිසා, මුලු ඡායාරූපයේ ම ඒකාත්මිතිය බිඳී යයි. එය ද පහසුවෙන් ඉවත් කර ගත හැකි ව තිබිණි.
03. ඡායාරූප ශිල්පයේ මූලික රීතීන් අතර තවත් වැදගත් වගන්තියකි, ඡායාරූපය අතිශය සංකීර්ණ Complicated නොවිය යුතු ය යන්න. මේ ඡායාරූපය ඊට හොඳ ම නිදසුනකි. එහි ඈති වස්තූන් බහුල බව නිසා ම අපට කිසිවක් දෙස එක එල්ලේ ඈස් යොමු කළ නොහැකි බවක් දැනේ. එනිසා ම කිසිවක් අපට පැහැදිළි ව නොපෙනේ. මේ ඡායාරූපය ම, මා විසින් ගත්තේනම් මම ඊට හසු කර ගන්නේ මේ කොටස පමණි.!!!

Share/Bookmark