Monday, September 20, 2010

ෆොටෝෂොප් - 2 වතුර බිංදු

මේ සටහන ලියන්නට පාදක කර ගත්තේ ද, මීට ටික දවසකට කළින් අමන්දා සමානි ජයවර්ධන විසින් ප්‍රකාශයට පත් කර තිබූ ඡායාරූප කිහිපයක් දැකීමෙන් මට ඈති වූ සිතිවිල්ලයි.

මෙවැනි ඡායාරූප අයත් වන්නේ ප්‍රචාරණ ඡායාරූප Advertising Photography කියන ගොන්නටයි. නැතිනම් නිශ්චල ජීවිත Still life කියන ගොන්නටත් දාන්න පුලුවනි. නමුත් එය නිවැරදි ව නැතිනම් එය නිශ්ඵල වන්නට ද පුලුවන.

ප්‍රචාරණ ඡායාරුපකරණයේ දී අප ගනු ලබන ද්‍රව්‍යය හෝ සිද්ධිය අතිශ්‍යෝක්තිමත් වීම මත ඊට වැඩි වටිනා කමක් එකතු වෙයි. මන් ද එය ඍජුව ම අලෙවි කරණය Marketing හා සම්බන්ධ වීම නිසයි. අලෙවි කළ හැක්කේ අතිශයින් සුන්දර, පුෂ්ටිමත්, කඩතොලුවලින් තොර, අලුත් ම අලුත් ද්‍රව්‍ය පමණයි නෙ...(අපි එහෙම හිතමු..!!) ඒ නිසා මේ ඡායාරූප සඳහා ද්‍රව්‍ය තෝරා ගැනීමේ දී, විශේෂයෙන් පළතුරු, එළවලු සහ මස් මාංශ වැනි ද්‍රව්‍ය තෝරා ගැනීමේ දී කිසිදු හානියකින් තොර, කඩතොලු නැති, අලුත් ම අලුත් පෙනුමක් ඈති ද්‍රව්‍ය තෝරා ගැනීම අතිශය වැදගත් වෙයි.

නමුත් මේ අමන්දා ඒ සඳහා තෝරාගෙන තිබෙන්නේ නරක ම ද්‍රව්‍ය කිහිපයකුයි. ඒත් අපට ෆොටෝෂොප් මෘදුකාංගය බුහුටි ව හසුරුවන්නට හැකි නම්, මේ තැලුණු පරවුණු ද්‍රව්‍ය පවා මේ දැන් නෙලා ගත්තා වැනි ව සකසා ගන්නට පුලුවන් වෙයි.

පළමුවෙන් ම ඡායාරූපය ගැනීමේ දී නිවැරදි ව ආලෝකය හසුරුවාගෙන, වස්තු සම්පිණ්ඩනය නිවැරදි ව සකසා ගෙන, ඡායාරූපය ගත යුතුයි. එසේ ලබා ගත් ප්‍රතිරූපය හෙවත් ඉමේජය පරිගණක තිරය මතට ගෙන එහි අඩු පාඩු සකසන්නට පටන් ගත යුතු යි. මේ කඩතොල සහ කුණු පැල්ලම් මකා ගැනීම සඳහා ෆොටෝෂොප් හි මෙවලම් හෙවත් ටූල්ස් කිහිපයක් ම අප වෙනුවෙන් සැදී පැහැදී සිටී. ක්ලෝනින් ස්ටෑම්ප් Cloning Stamp ටූලය, පැච් Patch ටූලය සහ හීලින් බ්‍රෂ් Heeling Brush ටූලය ඉන් ප්‍රධාන වෙයි.

ක්ලෝනින් ස්ටෑම්ප් ටූලයක්ලෝනින් ස්ටෑම්ප් ටූලයෙන් කෙරෙන්නේ එක් තැනෙක ඈති රූප පදාසයක් ඒ හා සමානව ම තවත් තැනෙක ආලේප කිරීමයි. අදාල ටූලය සක්‍රිය කරගෙන, විවෘත ව ඈති කැන්වසය මතට "රයිට් ක්ලික්" කළ විට බ්‍රෂ් පැලටය විවෘත වෙයි. ඉන් පින්සල් තුඩේ වට දාරය සුමට ව, විහිදුනු ආකාරයක් තෝරා ගන්න.ඉන් පසු ආලේපනය පටන් ගත යුතු ය. පළමුවෙන් ම ඉමේජයේ ඈති කිසිදු අතුරු අන්තරාවකට භාජනය නොවුනු ස්ථානයක් තෝරා ගෙන, ඕලටර් Alt යතුර ඔබාගෙන එතැනට ක්ලික් කළ යුතු ය. මේ ටූලයේ සිටිමින් ඕල්ටර් යතුර එබූ විට ටූලයේ හැඩය "ටාගට්" ආකාරයට වෙනස් වෙනු ඔබට පෙනේ වි.එවිට එතැන ඈති රූප කොටස අපට නොපෙනී පිටපත් වෙයි. දැන් කළ යුත්තේ ආලේප විය යුතු හෙවත් රෙපයාර් කළ යුතු ස්ථානය මතට ක්ලික් කිරීමයි. එසැණින් ඔබ තෝරාගත් රූප පදාසය දෙවන ස්ථානයේ ආලේප වෙයි. හැම විට ම මේ තෝරා ගත් කොටස ම ආලේප විය යුතුනම්, ඔප්ෂන් බාරයේ ඈති අලයින්ඩ් Aligned නම් කොටස අන් චෙක් කර තැබිය යුතු යි. නැතිනම් මේ ක්ලෝන් ස්ටෑම්ප් ටූලයෙන් ආලේප වන්නේ සමාන්තර ව ය.

හීලින් බ්‍රෂ් ටූලයහීලින් බ්‍රෂ් ටූලය ක්‍රියාත්මක වන්නේ ද, ඕල්ටර් යතුර සමග ය. නමුත් මේ ටූලයෙන් ආලේප වන්නේ මතුපිට වයනය හෙවත් ටෙක්ස්චරය Texture පමණි. ආලේප වන තැන ළා පාට නම් පදාසය ළා පාටට ද, අඳුරු පැහැ නම් ඊට සමානුරූපව ද මේ මතුපිට වයනය ආ​ලේප වෙයි. මේ ටූලයෙන් වැඩ අරඹන්නට පළමු ව, ඔප්ෂන් බාරයේ මුලින් ම ඈති, බ්‍රෂ් සළකුණ ළඟ ඩවුන් ඈරෝවට කලික් කිරීමෙන් බ්‍රෂ් පැලටය විවෘත කොට ගෙන, එහි ඈති ස්ලයිඩර සීරු මාරු කිරීමෙන් පින්සලේ තුඩේ හැඩය හෙවත් බ්‍රෂ් ටිප් ෂේප් Brush Tip Shape එක සකසා ගත යුතු ය. එහි හාඩ්නස් Hardness යන්න මතක ඈති ව අවම ප්‍රමාණයට සකසා ගත යුතු ය. පින්සලේ තුඩේ වට ප්‍රමාණය ලොකු වරහන් යතුරු මගින් සකසා ගන්නට පුලුවන.
පැච් ටූලය

පැච් ටූලයෙන් කෙරෙන්නේ, ඔබ සිලෙක්ට් කරන ස්ථානය මතට වෙනත් තැනෙක වයනය ආදේශ කිරීමයි. පැච් ටූලයෙන් සැකසිය යුතු තැන වටා අඳින්න. එවිට එය නලියන කඩ ඉරකින් යුත් සිලෙක්ෂන් එකක් බවට පත් වෙයි. දැන් ඒ ටූලයෙන් ම එහි මැදට ක්ලික් කර ගෙන වෙනත් තැනෙකට ඒ සිලෙක්ෂන් එක තල්ලු කර ගෙන යා හැකි ය. එසේ යන විට, ඔබ මුලින් සිලෙක්ට් කළ තැනට දෙවන ස්ථානයේ මතු පිට ස්වරූපය ආදේශ වනු පෙනෙයි.එය නිවැරදි නම් කළ යුත්තේ තල්ලුව නතර කිරීමයි. සැනෙකින් කඩතොල්ල සකස් වෙයි.මේ ටූල්ස් තුනෙන් කැමැති එක තෝරා ගෙන පළමුවෙන් ම ඔබේ පළතුර රෙපයාර් කර ගත යුතු ය.
වතුර ඉසින්නට කලින් අප වතුර බිංදුවක් සාදා ගත යුතු වෙයි.

පළමුවෙන් ම රෙසොලූෂන් 200ක් වන අඟලයි අඟලේ පමණ වන කැන්වසයක් සාදා ගන්න. ඉන් පසු ලේයර් පැලට්ටුවේ යට දාරයේ ඈති කඩදාසියක් නැව්වා වැනි Create New Layer අයිකනයට ක්ලික් කර, අලුත් හිස් ලේයරයක් සාදා ගන්න. කලර් පිකරය Colour picker ඈර (ටූල් පෙට්ටියේ යට හරියේ ඈති කලර් පැලටයට ක්ලික් කිරීමෙන්) රූපයේ පෙනෙන ආකාරයේ අලු පාටක් තෝරා ගන්න. දැන් පින්සපලන් කැන්වසය මත වර්ණ පදාසයක් ආල්ප කරන්න.ඊට පසු ඇත්තේ වැදගත් ම කාර්යයයි. ලේයර් පැලටයේ යට දාරයේ එෆ් අකුර වැනි අයිකනයට ක්ලික් කර ලේයර් ස්ටයිල් Layer Styles මෙනුව ඈර ගෙන, පළමුවෙන් ම ඩ්‍රොප් ෂැඩෝ Drop Shadowවක් දෙන්න.මේ රූපයේ පෙනෙන සැකසුම් ඒ ආකාරයෙන් ම දීමෙන් ඔබට කාර්යය වඩාත් පහසු වනු ඈති. වෙනසක් ඈතොත් පසුව යළි ඒ සියලු සැකසුම් යළි සකස් කර ගත හැකි බැවිනි.ඊට පසු මීට ම ඉනර් ෂැඩෝ Inner Shadowවක් දිය යුතු වෙයි. ඒ සඳහා ද රූපයේ දත්ත අනුගමනය කරන්න.ඊටත් පසු බෙවෙල් එම්බෝස් Bevel & Emboss එකක් ද දිය යුතු වෙයි.මේ සියල්ල අවසන් වූ පසු ලේයර් පැලටයේ වම් උඩ කෙළවරේ ඈති මෝඩ්ස් Modes මගින් එහි මෝඩ් එක ස්ක්‍රීන් Screen ලෙස තෝරා දිය යුතු ය. එවිට අළුපාටින් පෙනුනු වර්ණ පදාසය සුදු පාට වෙයි.ස්ටයිල් පැලටය ඇර, එහි දකුණු කෙළවරේ ඇති ඩවුන් ඇරෝවට ක්ලික් කරන්න. මතු වන මෙනුවෙන් නිව් ස්ටයිල් New Style විධානය දෙන්න. එවිට සංවාද කොටුවක් මතු වී නමක් අසයි. එය දුන් පසු, ඔබ වැර වෑයමින් සාදා ගත් ස්ටයිල් ගොන්න බොත්තමක් බවට පත් ව එහි තැන්පත් වෙයි.දැන් ඔබ රෙපයාර් කර ගත් ඉමේජය මත අලුත් හිස් ලේයරයක් සාදා ගන්න. ඒ ලේයරය සක්‍රිය ව තිබියදී, ඔබ සාදා ගත් සටයිල් එකට ක්ලික් කරන්න. එවිට ඒ ලේයරය මත අදාල සැකසුම් සියල්ල ක්‍රියාත්මක වෙයි. දැන් වට දාරයේ හාඩ්නස් වැඩි පින්සලක් තෝරා ගෙන, කලින් සාදා ගත් අලු පාටින් ම මේ ලේයරය මත තිත් තබන්න. ඒවා වතුර බිංදු ලෙසින් ම ඔබට දර්ශනය විය යුතු වෙයි. එසේ නොවන්නේ නම්, ලේයර් ස්ටයිල් නාමාවලිය මත ඩබල් ක්ලික් කරන්න. මතුවන සංවාද කොටුවෙන් අදාල ස්ටයිල් එක තෝරාගෙන ඒවායේ ස්ලයිඩර් සීරු මාරු කොට බලන්න.

ඒ ස්ලයිඩර් Slider සහ ඔප්ෂන් බොක්ස් Option box තනා එවන්නේ ඔබට වෙනස් කර බලන්නට ම ය...!!

Share/Bookmark

Saturday, September 11, 2010

ෆොටෝෂොප් - 1 පසුබිම සැකසුම

මේ සටහන ලියන්නට සිතුනේ දිනේෂ් ගමගේ විසින් මූණු පොතේ පළ කරන ලද ඡායාරූපයක් ගැන මවිසින් ලියූ කමෙන්ටුව වෙනුවෙන් මීෂා ගුණවර්ධන කරන ලද ඉල්ලීමක් නිසා ය. ඒ වෙනුවෙන් මට මිඩංගු කළ යුතු වූ කාලය අතිශය දරුණු නමුදු, එය කරන්නට ම මම සිතා ගතිමි. (පැය නවයක් මට ගත විය..!!)

ඡායාරූප හෙවත් ප්‍රතිරූප සංස්කරණයේ දී අපට හමුවන විශිෂ්ටතම මෘදුකාංගය වන ෆොටෝෂොප් භාවිතයෙන්, අප ගත් ඡායාරූපයක් හැකි තාක් නිවැරදි ව සකසා ගන්නට හැකි බව අපි දනිමු. මේ අප අත් පොත් තබන්නේ එයින් අංශු මාත්‍ර කොටසක් පමණි. ෆොටෝෂොප් හි වැඩි ම පහසුකම් සලසා ඇත්තේ සිලෙක්ෂන් සඳහා ය. එයින් ක්වික් මාස්ක් නම් පහසුකම භාවිතයෙන් නිවැරදි ව ප්‍රතිරූපය සකසන ආකාරය පියවරෙන් පියවර අපි අත්හදා බලමු. මේ අත්හදා බැලීම සඳහා ඔබ ද, ඔබගේ තිරය මතට ගෙන තිබෙයිනම් වඩාත් පහසු ය.

පළමුවෙන් ම අපි දිනේෂ් ගමගේ ප්‍රකාශයට පත් කළ ඉමේජය බලමු. එහි පසුබිම බොඳ කළ ආකාරය සහමුලින් ම වැරදි ය.මේ ඇත්තේ එය ආසන්න තරම් නිවැරදි ව ((තවත් අඩුපාඩු සැකසිය හැකි ය.) සකස් කළ ආකාරයයි.


පළමුවෙන් ම අපි මේ ප්‍රතිරූපය ෆොටෝෂොප් වෙතට අරගෙන එමු. ඉන්පසු පළමුවෙන් ම කළ යුත්තේ ඔබ එහි පසුබිම බොඳ වන ආකාරය ගැන මූලික සැලසුමකට පැමිණීමයි. එසේ සිතා බලා, ඒ අනුව කැන්වසය මත, ගයිඩ් ලයින් දමා ගනිමු. කැමරාවට වඩා කිට්ටු කොටස, නිරූපිකාව සිටින කොටස, ඈට පිටුපස කොටස සහ වඩා ඈත කොටස යන ආකාරයට ගයිඩ් ලයින් දමා ගත්විට සංස්කරණය වඩා පහසු වෙයි.


අපි සම් සියලු කාර්යයන් කරන්නට උත්සාහ කරන්නේ ක්වික් මාස්ක් Quick Mask ටූලය සමග ය. එය ඇත්තේ ටූල් පෙට්ටියේ යට ම හරියේ ය. කලර් පිකරයටත් යටිනි. මේ ටූලයට ක්ලික් කළ විට කලර් පැලටය කළු සහ සුදු බවට පත් වෙයි. එමෙන් ම සක්‍රිය ව පවතින ලේයරය අළු පාට වෙයි. ක්වික් මාස්ක් ටූලයෙන් වැඩ අරඹන්නට කලින් ඒ මත ඩබල් ක්ලික් කළ යුකු ය. එවිට ක්වික් මාස්ක් ඔප්ෂන් Quick Mask Option වින්ඩෝව මතු වෙයි. එහි සිලෙක්ටඩ් ඒරියා Selected Areas යන රේඩියෝ බොත්තමට ක්ලික් කර එය සක්‍රිය කිරීම අත්‍යාවශ්‍ය ය. හැම විට ම ක්වික් මාස්ක් ​ටූලයට ක්ලික් කරනවාට වඩා යතුරු පුවරුවේ කිව් Q අකුර එබීමෙන් ද මේ පහසුකම වඩා ඉක්මණින් ලබා ගන්නට පුලුවන. ක්වික් මාස්ක් සක්‍රිය ව ඇති විට ඇඳෙන්නේ රතු පාටිනි. (පසුබිම් වර්ණයට අනුව ඕනෑ ම මොහොතක මේ වර්ණය වෙනස් කර ගන්නට ද පුලුවන.) ක්වික් මාස්ක් එක සක්‍රිය කර ගෙන අප අඳින්නේ පින්සලෙනි. නමුත් පැන්සල ද භාවිතා කළ හැකි ය. (එය එතරම් සුමට නැත.) බ්‍රෂ් ඔප්ෂන් බාරයේ මෝඩ් Mode එක නෝමල් Normal ද, ඔපැසිටි Opacity 100%ක් ද, ෆිල් Fill 100%ක් ද විය යුතු ය.


දැන් බ්‍රෂ් Brush Tool(B) ටූලය සක්‍රිය කර ගෙන, මෙනු බාරයට යටින් ඇති ඔප්ෂන් බාරයේ මුලින් ම ඇති, බ්‍රෂ් ටිප් ෂේප් Brush Tip Shape පැලටය ඇර ගන්න. එයින් වට දාරය Hardness දැඩි පින්සල් තුඩක් තෝරා ගන්න. ඉන් පසු යතුරු පුවරුවේ එන්ටර් යතුරට උඩින් ඇති ලොකු වරහන් {}[] යතුරු දෙකෙන් මේ පින්සල් තුඩේ ප්‍රමාණය ඔබට අවශ්‍ය ආකාරයට ලොකු හෝ කුඩා හෝ කර ගත හැකි ය. දැන් ලොකු පින්සල් තුඩක් ගෙන ඉන් පින්තූරයේ යට දාරයේ තණකොල පදාසයට අනුව, වර්ණ ගන්වන්න. ඉන් පසු කුඩා පින්සල් තුඩක් ගෙන, තණකොළ හැඩයට ඇඳ ගන්න. මෙසේ ඇඳ අවසන් වූ පසු කිව් Q අකුර ඔබන්න. සැනෙකින් රතු පාට පදාසය නලියන කඩ ඉරි රේඛාවකින් සිලෙක්ෂන් Selection එකක් බවට පත් වෙයි. දැන් කළ යුත්තේ මේ සිලෙක්ට් කළ කොටසේ පිටපතක් ගැනීමයි. ඒ සඳහා කොන්ට්‍රෝල් යතුර සමග ජේ Ctrl + J අකුර ඔබන්න. සැනෙකින් එතැන නව ලේයරයක් සෑදෙයි. එය අපට වෙන ම නොපෙනුනාට ලේයර් පැලටයේ ඈති ඇස් රූපය හෙවත් ලේයර් විසිබිලිටියට Layer Visibility ක්ලික් කර, බැක්ග්‍රවුන්ඩ් ලේයර් එක ඕෆ් කිරීමෙන් අපට එම නව ලේයරයේ හැඩය බලා ගන්නට පුලුවන.මී ළඟට අප නිරූපිකාව සිටින තලය සිලෙක්ට් කර ගත යුතු ය. පළමුවෙන් ම ලේයර් පැලටයේ, බැක්ග්‍රවුන්ඩ් ලේයරයට ක්ලික් කර එය ඇක්ටිව් කර ගත යුතු ය. ඉන් පසු ටූල් පෙට්ටියේ උඩින් ම දෙවනුවට ඇති, රෙක්ටෑන්ග්‍යුලර් මාර්කී Rectangular Marquee ටූලයෙන් මේ කොටස පුරා ලොකු කොටුවක් ඇඳ ගන්න. ඉන් පසු කිව් අකුර ඔබන්න. සැනෙකින් එය රතු පාටින් පිරේවි. දැන් ෆිල්ටර් මෙනුවේ බ්ලර් ෆිල්ටර් ගොන්නෙන් ගෂන් බ්ලර් Filter > Blur > Gaussian Blur ෆිල්ටරය සක්‍රිය කරන්න. ලැබෙන සංවාද කොටුවෙන් එහි අගය වැඩි කරන්න. ඉන්පසු ඕකේ කරන්න. දැන් රතු කොටුව සහ මුලින් ම බොඳ වී ඈති වග ඔබට පෙනේවි. ඉන් පසු යළි කිව් Q අකුර ඔබන්න. එය සිලෙක්ෂන් එකක් බවට පත් වෙයි. දැන් යළි ඔබා එහි ද නව පිටපතක් සාදා ගන්න. ඊට පසු යළි බැක්ග්‍රවුන්ඩ් ලේයරය සක්‍රිය කර ගන්න.

නිරූපිකාවගේ ඉදිරියට දිගු වී ඈති පාදය ද අවුට් ඔ​ෆ් ෆෝකස් Out of Focus විය යුතුයි නෙ. දැන් අප මේ පාදය සකසා ගනිමු. පළමුව කැන්වසයේ දෘෂ්‍ය රූපය හැකි තරම් විශාල කර ගන්න. ඕනෑම ටූලයක සිටිමින් ලොකු ස්පේස් යතුර එබූ විට එය තාවකාලික ව, හෑන්ඩ් ටූලය බවට පත් වෙයි. රූපයේ නොපෙනෙන කොටස් තිරයේ පෙනෙන ඉසව්වට ඇද ගෙන එන්නට මේ හෑන්ඩ් ටූලයෙන් පුලුවන. ( කැන්වසයේ දෘෂ්‍ය රූපය ලොකු කරන්නේ කොන්ට්‍රෝල් යතුර සමග + යතුර එබීමෙනි. එය කුඩා කරන්නේ කොන්ට්‍රෝල් යතුර සමග - යතුර එබීමෙනි. කැන්වසය තිරය පුරා පෙනෙ​න්නේ කොන්ට්‍රෝල් යතුර සමග 0 බිංදුව එබීමෙනි.) දැන් යළි ක්වික් මාස්ක් සක්‍රිය කර ගෙන පින්සලෙන් මේ පාදය වටා සීරුවෙන් අඳින්න. ඇඳ අවසන පේන්ට් බකට් Paint Bucket ටූලයෙන් මේ ඇඳි රූපය මැදට ක්ලික් කර මැද කොටස රතු පාටින් පුරවන්න. හැම විට ම, පේන්ට් බකටය තුන් වරක් ක්ලික් කරන්න මතක තබා ගන්න. දැන් යළි කිව් අකුර ඔබන්න. සැනෙකින් මේ රතු පදාසය සිලෙක්ෂන් එකක් බවට පත් වෙයි. දැන් යළි ඒ පාද කොටසේ පිටපතක් සාදා ගැනීමට කොන්ට්‍රෝල් යතුර සමග ජේ Ctrl + J අකුර ඔබන්න.

මීට පසු අප, නිරූපිකාව සීරුවෙන් සිලෙක්ට් කර ගත යුතු ය. ක්වික් මාස්ක් එක සමග පින්සලෙන් නිරූපිකාවගේ වටේ අඳින්නට පටන් ගන්නට කළින් මේ පෙනෙන රූපය හැකි තරම් විශාල කර ගන්න. ඉන් පසු හොඳ ඉවසීමෙන් සහ සැලකිල්ලෙන් ඈගේ සිරුර වටා සහ වාඩිවී සිටින පුටුව වටා ද ඉරක් ඈඳ ගත යුතු ය. සෑම රේඛාවක් ගැන ම සීරුවෙන් බලන්න. මුලින් අප සිලෙක්ට් කොට තැබූ පාදම් කොටසට වැසෙන තැන් නැවත ඇඳීම අත්‍යාවශ්‍ය නොවේ. ඒ නිසා රූපයේ පෙනෙන ආකාරයට ඇඳ ගැනීම සෑහෙයි. මෙසේ ඇඳ ගත් පසු පේන්ට් බකට්ටුවෙන් තුන් වරක් එය පුරවා ගන්න. ඊට පසු කොණ්ඩය ළඟ කොටස විශාල කර ගෙන වටේට විහිදුනු කෙස් මත, සිහින් බ්‍රෂ් තුඩකින් සීරුවෙන් අඳින්න.
ඊට පසු බ්ලර් ටූලය ගෙන මේ කෙස් ගස් මත අතුල්ලමින් ඒවා ​බොඳ කරන්න. මෙසේ ඈඳ අවසන් වූ විට යළි කිව් අකුර ඔබා එය සිලෙක්ෂන් එකක් බවට පත් කර ගන්න.

ඊට පසු සිලෙක්ට් මෙනුවට යන්න. එහි මොඩිෆයි යටතේ ඇති කන්ට්‍රැක්ට් Select > Modify > Contract (සංකෝචනය) උප මෙනුව සක්‍රිය කරන්න. එවිට සංවාද කොටුවක් මතු වී මේ සිලෙක්ෂන් එක කොපමණ සංකෝචනය කළ යුතුදැයි ඔබෙන් අසයි. එය එක පික්සලයක් ලෙස සකසන්න. ඔකේ කරන්න. ඉන්පසු කොන්ට්‍රෝල් සහ ඕල්ටර් යතුරු සමග ඩී Ctrl + Alt > D අකුර ඔබන්න. එවිට ෆෙදර් Feather සංවාද කොටුව මතු වෙයි. ඉන් .5ක ෆෙදරයක් දෙන්න. දැන් මේ සකසා ගත් සිලෙක්ෂන් එක අනුව බැක්ග්‍රවුන්ඩ් ලේයරයෙන් නිරූපිකාවගේ පිටපතක් සාදා ගන්න.

මීට පසු අප කළ යුත්තේ පසුබිම සකසා ගැනීමයි. පළමුව නැවතත් රෙක්ටෑන්ග්‍යුලර් මාර්කී ටූලයෙන් නිරූපිකාවගේ පසු තල කොටස සිලෙක්ට් කර ගන්න. කිව් ඔබන්න. ෆිල්ටර් මෙනුවෙන් ගෂන් බ්ලර් විධානය දෙන්න. යළි කිව් ඔබා සිලෙක්ට් කර ගන්න. එහි පිටපතක් සාදා ගන්න.

මෙසේ කර, නැවතත් පසුබිමෙන් තවත් කොටසක් සිලෙක්ට් කර ගන්න. එහි ද පිටපතක් සාදා ගන්න. දැන් අපට අවසන් සංස්කරණය සඳහා අවශ්‍ය වන සියලු කොටස් සාදා ගෙන අවසාන ය. දැන් ඉතින් වැඩ පටන් ගනිමු.

පළමුවෙන් ම නිරූපිකාවගේ ඉදිරියෙන් ම ඈති තණකොල බිස්ස බොඳ කර ගත යුතු වෙයි. මේ ලේයරය ඇක්ටිව් කර, (ලේයර් පැලටයේ අදාල ලේයරය මත ක්ලික් කිරීමෙන්) ඊට ෆිල්ටර් මෙනුවේ බ්ලර් හි ලෙන්ස් බ්ලර් Filter > Blur > Lens Blur උප මෙනුව සක්‍රිය කළ යුතු ය. එවිට දැවැන්ත සංවාද කොටුවක් මතු වෙයි. මේ පෙනෙන තිර රූපයට අනුව අදාල සැකසුම් සකස් කර ගන්න. නමුත් බ්ලර් ෆෝකල් ඩිස්ටන්ස් Blur Focal Distance එක මෙතරම් දිය යුතු නැත. එය අඩු අගයක් දෙන්න. රේඩ්යස් Radius ද, බ්ලේඩ් කර්වර්චරය Blur Curvature ද, රොටේෂන් Rotation ද අඩු කළාට කමෙක් නැත.

ඊට පසු නිරූපිකාව සිටින තලය සහ නිරූපිකාව සහිත ලේයර දෙක ම එකවිට ඇක්ටිව් කර ගන්න. එය කරන්නේ කන්ට්‍රොල් යතුර ඔබාගෙන ම ඒ ලේයර දෙකට ම ක්ලික් කිරීමෙනි. මෙසේ ඒ දෙක ම හයිලයිට් වූ පසු Ctrl + E යතුරු ඔබන්න. එවිට ඒ ලේයර් දෙක ම එකක් Marge වෙයි. අනෙකුත් ලේයර් විසිබිලිටිවලට ක්ලික් කර, ඒවා ඕෆ් කර බැලීමෙන් එය ඔබට තහවුරු කර ගත හැකි ය.

දැන් පසු බිම ද සකසා ගත යුතු ය. ඒ සඳහා ද දිය යුත්තේ ලෙන්ස් බ්ලර් විධානයයි. අවශ්‍ය තරමින් එය සැකසීමෙන් පසු, පසු බිමේ අනෙක් කොටස ද ඒ ආකාරයෙන් ම බ්ලර් කර ගත යුතු ය. ඒවා සඳහා හැම විට ම වැඩි අගයන් දෙන්න. අවසන පසුබිමේ අග කොටස නැවතත් ගෂන් බ්ලර් ෆිල්ටරය මගින් තව දුරටත් බොඳ කිරීමෙන් ඩෙප්ත් එක තවත් අඩු කර ගත හැකි ය.

අවසාන වශයෙන් කළ යුත්තේ පාද කොටස සැකසීමයි. ලේයර් පැලටයේ පාදය සහිත ලේයර්ය ඇක්ටිව් කර, එහි තම්නේලයට Layer Thumbnail හෙවත් කුඩා රූපය මතට, කොන්ට්‍රෝල් යතුර ඔබා ගෙන ම ක්ලික් කරන්න. එවිට පාද කොටස පමණක් යළි සිලෙක්ට් වෙයි. ඉන් පසු මේ කොටසට ද, සිලෙක්ෂන් එක තිබිය දී ම, ලෙන්ස් බ්ලර් විධානය ආදේශ කළ යුතු වෙයි. එසේ කොට අවසන, කොන්ට්‍රෝල් සමග ඩී Ctrl + D යතුරු එබීමෙන් සිලෙක්ෂන් එක අහෝසි කර ගත හැකි ය. ඊට පසු ඉරේසර් ටූලය ගෙන, එහි තුඩ බොඳ වූ විශාල අගයක් ලෙස සකසා, පාදයේ ඉහළ කොටස පමණක් මකා දමන්න.

මෙසේ පසුබිම බොඳ කළ පසු, නිරූපිකාවගේ වර්ණය ද පසු බිමින් බොඳ ව දක්නට ලැබීම ආවේනික දුර්වලතාවයකි. මේ පෙනෙන දුර්වලතාවය මකා ගන්නට අපට තවත් ටූල් කිහිපයක උදව්ව ලබා ගත හැකි ය. ක්ලෝන් ස්ටෑම්ප් ටූලය ඉන් ප්‍රධාන ය. එසේත් නැතිනම් ස්පොට් හීලින් බ්‍රෂ් ටූලය ද උදව්වට ගත හැකි ය.

ක්ලෝන් ස්ටෑම්ප් Clone Stamp ටූලයෙන් කෙරෙන්නේ ඉමේජයේ එක් තැනෙක ඈති රූප කොටසක් ඒ ආකාරයෙන් ම තවත් තැනෙක තැවරීමයි. ස්පොට් හීලින් Spot Healing බ්‍රෂ් ටූලයෙන් කෙරෙන්නේ අවට ඇති රූපයේ විස්තර අනුව ගෙන, ආලේප වන කොටස ඉන් පිරවීමයි.

ක්ලෝන් ස්ටෑම්ප් ටූලයෙන් වැඩ කරද්දී ඕලටර් Alt යතුර ද අත්‍යාවශ්‍ය වෙයි. ආලේප කළ යුතු රූප කොටස සිලෙක්ට් කර ගැනීම සඳහා ඕලටර් යතුර ඔබාගෙන අදාල තැනට පළමුව ක්ලික් කළ යුතු ය. ඉන්පසු දෙවනු ව ක්ලික් කරන තැන එම රූප කොටස බ්‍රෂ් තුඩේ හැඩයෙන් ඒ ආකාරයට ම ආලේප වෙයි. මෙසේ පසුබිමෙන් පෙනෙන බොඳ වූ අනවශ්‍ය වර්ණ පැල්ලම, ක්ලෝන් ස්ටෑම්ප් ටූලයෙන් සහමුලින් ම වසා ගන්නට පුලුවන.

දැන් මේ ඔබට පෙනෙන්නේ අවසන් නිර්මාණයයි. මෙසේ සාදා ගත් රූපය වෙන ම තැනෙක ටිෆ් ගොනුවක් ලෙස සේව් කර, පසු ව සියලු ලේයර් එකට එකතු කළ අවසන් නිර්මාණය වෙන ම තැනෙක සේව් කර ගන්න. මෙසේ සැකසීමෙන්, කැමරාවෙන්, නියමිත කාචය සහ නිවැරදි කාව වවරය භාවිතා කර, අපට ලැබෙන රූපයට ම සමාන රූපයක් ලබා ගන්නට නොහැකි වුව ද, ආසන්න වශයෙන් සමාන රූපයක් ලබා ගන්නට පුලුවන.
ෆොටෝෂොප් මගින් බොහෝ දේ කළ හැකි ය. නමුත් සියල්ල ම කළ නොහැකි බව තරයේ මතක තබා ගත යුතු ය..!!!


Share/Bookmark