Friday, October 12, 2012

ආලේඛ්‍ය ඡායාරූප පණ ගැන්වීම 01 (කළු සුදු)


ආලේඛ්‍ය ඡායාරූපකරණය යනු ඡායාරූප විෂයය ක්ෂේත්‍රයේ ඇති වැදගත් ම අනු විෂයයකි. එයිනුදු පින්තූරයක් කළු සුදු ආකාරයෙන් ඉදිරිපත් කිරීම ඡායාරූප විනිශ්චයේදී ඔබේ ඡායාරූපයට වැඩි තක්සේරුවක් ලැබෙන අවස්ථාවක් වෙයි. අද අපි මේ සූදානම් වන්නේ වර්ණ ඡායාරූපයක් සිතැඟි පරිදි ජව ගන්වන ආකාරයයි.

පළමුවෙන් ම ඔබේ පින්තූරය ෆොටෝෂොප් මෘදුකාංගය මත විවෘත කර ගන්න. මේ පින්තූරය සංස්කරණය කිරීම සඳහා මා භාවිතා කළේ Photoshop CS5 සංස්කරණයයි.


දැන් එහි ඉමේජ් මෙනුවේ ඇජස්ට්මන්ට් හි ඇති බ්ලැක් ඇන්ඩ් වයිට් Image > Adjustment > Black & White  විධානය තෝරා ගන්න. ඊට ක්ලික් කළ විට සංවාද කොටුවක් මතු වෙයි.

 එහි ප්‍රීසෙට් Preset විකල්ප කොටුවේ ඩවුන් ඇරෝවට ක්ලික් කළ විට විකල්ප ගණනාවක ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකක් මතු වෙයි. ඉන් ඉන්ෆ්‍රාරෙඩ් Infrared විකල්පය දුන් විට ඒ අනුව පින්තූරය කළු සුදු ආකාරයට පරිවර්තනය වෙයි.

 ඉන්පසු යතුරු පුවරුවෙන් කොන්ට්‍රෝල් සහ ජේ Ctrl + J (Layer via Copy) අකුරු එබීමෙන් එම ඉමේජයේ ම ලේයර් පිටපතක් සාදා ගත හැකි ය.


දැන් මේ සාදා ගත් නව ලේයරය මත හයිපාස් ෆිල්ටරය ආදේශ කළ යුතු ය. ෆිල්ටර් මෙනුවේ කෙළවරට වන්නට ඇති අදර් මෙනුවේ උප මෙනුවක් ලෙසින් හයිපාස් ෆිල්ටරය Filter > Other > High pass තිබේ. එම විධානය සක්‍රිය කළ විට සංවාද කොටුවක් මතු වෙයි. එහි ස්ලයිඩරය සීරු මාරු කිරීමෙන් ඔබට අවශ්‍ය ආකාරයට විස්තරාත්මක බව වැඩි වන ප්‍රමාණයට එය සකස් කර ගත හැකි ය.


දැන් මේ ෆිල්ටරය ආදේශ කළ ලේයරයේ බ්ලෙන්ඩින් මෝඩ් Blending Mode එක ඕවර්ලේ Overlay ලෙසින් දෙන්න.

ඉන්පසු බැක්ග්‍රවුන්ඩ් ලේයරය සක්‍රිය කොට එහි බ්‍රයිට්නස් කන්ට්‍රාස්ට් Image > Adjustment > Brightness Contrast ඔබට ඇවැසි පරිදි සකසා ගන්න. එසේ සැකසීමෙන් පසු මේ ලේයර් දෙක ම කොන්ට්‍රෝල් ඊ Ctrl + E විධානය මගින් මර්ජ් Merge කර ගත හැකි ය.
 
ඊට පසු ටූල් පෙට්ටියේ ඇති බර්න් Burn ටූලයෙන් (ළා තැන් අඳුරු කිරීම) සහ ඩොජ් Dodge ටූලයෙන් (අඳුරු තැන් ළා පැහැ කිරීම.) මුහුණේ ඇති සියුම් විස්තර Fine detail උලුප්පා ගත හැකි ය. 

මේ දැක්වෙන්නේ ඔබේ මුල් ඡායාරූපය සහ එය සංස්කරණය කොට අවසන් කළ විට දැක්වෙන ආකාරයයි.
 
මේ මුල් ඡායාරූපය මට ලබා දුන් හිතවත් රුවන් චින්තක මහතාට මගේ ස්තූතිය මෙයින් පිරිනමමි.

Share/Bookmark