Thursday, November 19, 2015

Resolution - ගහණතාවය ( විභේදනය )

රෙසොලූෂන් කියන දේ සම්මතයේ තිබුනේ බෝහෝ කළෙකට පෙර සිට වුව ද, එය අපේ භාවිතයට ආවේ ඩිජිටල් ඡායාරූප මුද්‍රණ තාක්ෂණය ලංකාවේ ස්ථාපිත වූවා ට පසුව ය.

මධුර ඹන්ලයින් ඩික්ෂනරියට අනුව රෙසොලූෂන් Resolution යන්නට තේරුම් බොහෝ ගණනක් ඇති වග අපට පෙනෙයි.

නමුත් අපට එය වැදගත් වන්නේ ඩිජිටල් කැමරාවෙන් ලබා ගත් ප්‍රතිරූප සංස්කරණය කරන්නට වෙනත් මෘදුකාංගයක දිග හැර ගත් විට ය.

මා  Resolution යන්න පරිවර්තනය කරන්නේ ඒ අනුව ය. විභේදනය ද හරි ය. නමුත් වඩා ගැලපෙන්නේ ගහණතාව යන වචනයයැයි මම සිතමි.

වැඩියෙන් ම අප ප්‍රතිරූප හෙවත් ඉමේජ ගණුදෙනු කරන්නේ ෆොටෝෂොප් Photoshop නම් වූ අතිප්‍රසිද්ධ මෘදුකාංගය සමග ය. Lightroom සමග වැඩ කරද්දී මේ රෙසොලූෂන් කතාව එන්නේ එහි අවසන් සංස්කරණ ගොනුව සේව් කිරීමේ දී ය.

ඕනෑ ම ඩිජිටල් ප්‍රතිරූපයක් සෑදි ඇති කුඩා ම ඒකකය වන්නේ Pixel පික්සලයයි. පික්සලය යන්න නාමික ඒකකයක් වන අතර,  ඊට සම්මත දිගක්, පළලක්, හැඩයක් නැත. ඩිජිටල් කැමරාවකින් අපට ලැබෙන ප්‍රතිරූපයේ ප්‍රමාණය Image Size මනිනු ලබන්නේ මෙගා පික්සල් Megapixel (Mp) වලිනි. එනම් එම ප්‍රතිරූපයේ ඇති සම්පූර්ණ පික්සල් ප්‍රමාණයයි. මේ පික්සල් ප්‍රමාණය ගණනය කරනු ලබන්නේ එහි දිග පැත්තේ සහ පළල පැත්තේ ඇති පික්සල් ප්‍රමාණය වැඩි කිරීමෙනි.  පරිගණකය ඉහත ප්‍රතිරූපය ගබඩා කර ගන්නේ එම පික්සල් ප්‍රමාණයෙන් පමණ ය. (දිග පැත්තේ පික්සල් x පළල පැත්තේ පික්සල් = මෙගාපික්සල් ) ඒ සඳහා වැය වන ඉඩ හෙවත් මතක තබා ගත යුතු ප්‍රමාණය ඉමේජයේ ප්‍රමාණය මත කිලෝබයිට් KB, මෙගාබයිට් MB, ගිගාබයිට් GB වශයෙන් සඳහන් කෙරේ. මේ උදාහරණ පින්තූර දෙකෙන් පෙන්වන්නේ එම ආකාරයයි.


 මෙය සරල උදාහරණයක් ලෙස දක්වන්නේනනම්, බිම ඇතිරූ බිම් උළු හෙවත් ටයිල් ගොඩක් ගැන සිතන්න. ඕනෑ ම ටයිල් එකකට සම්මත දිග පළලක් තිබේ. එය Pixel Aspect Ratio නමින් හඳුන්වන අතර අප ඩිජිටල් ප්‍රතිරූපයක මේ දිග පළල අතර අනුපාතය සමාන හෙවත් එය හරි හතරැස් ලෙස සළකන්නෙමු. අප උදාහරණය දැක්වීමට ගෙනා ටයිල් එකක දිග පලල ද හරි හතරැස් යැයි ද සිතමු. මුලු ප්‍රමාණය ම දැන් බිම අතුරා ඇත. අපි ටයිල් කොපමණ ගෙන ආවාදැයි අපි දනිමු. එය ටයිල් දහසක්නම්  දැන් මේ ටයිල් ගොඩ අපට විවිධ දිග පළල ප්‍රමාණයකින් ඇතිරිය හැකි ය. ඒ අතුරන දිගෙහි සහ පළලෙහි අනුපාතය අහ හඳුන්වන්නේ එහි රේෂියෝ Ratio එක නමිනි.  බිම අතුරා ඇති ටයිල් කන්දරාවේ එක් පාදයක ටයිල් 100ක් ඇතිනම් අනෙක් පාදයේ ඇත්තේ ටයිල් 10කි. එක පාදයක ටයිල් තිබෙන්නේ 40ක්නම් අනෙක් පාදයේ තිබෙන්නේ 25කි. 

දැන් මේ ටයිල් බිම ඇතිරී ඇති දිග ද අපට කිසියම් ක්‍රමයකට මැන බැලිය හැකි ය. ඒ වර්ග අඩි හෝ වර්ග යාර ආකාරයට ය. වර්ග අඩියක එක් පාදයක් අඩියක් වන අතර, පළල ද අඩියකි හෙවත් සම චතුරස්‍රයකි. උදාහරණ ටයිල් එක අඟල් 6ක්නම්, එය වර්ග අඩියක වපසරිය තුළ එක් පැත්තකට දෙකක් වන සේ ටයිල් 4ක් තිබේ. අපි එය වඩා පහසු ආකාරයකට මෙසේ කියමු. වර්ග අඩියකට ටයිල් 4යි..... ටයිල්වල රෙසොලූෂන් ය කියන්නේ එයට ය....!!!

ප භාවිතා කරන DSLR කැමරාවක මේ අනුපාතය 3:2කි. සරල කම්පැක්ට් Compact ඩිජිටල් කැමරාවක අනුපාතය 4:3කි. එනම් DSLR කැමරාවක මේ අනුපාතය 3:2ක අනුව දිග පාදය තුනක් වන විට පළල පාදය දෙකක් වෙයි. ඉමේජයේ සම්මත පික්සල් ප්‍රමාණය වෙනස් නොවී, අපට එය දිග පළල අතර අනුපාතය රකිමින් දිග හැරිය හැකි ය. 

කැමරාවේ ඇති මෘදුකාංගය මගින් අදාල ඩිජිටල් දත්ත Process කර, දත්ත සමුච්ඡයක් ලෙස ගබඩා කරන්නේ එන්කෝඩින් Encoding මෘදුකාංගයක් මගින් නිවැරදි ව හැකිලීමෙනි. මේ එන්කෝඩින් මෘදුකාංගය Nikon කැමරාවල එක් ආකාරයකටත්, Canon කැමරාවල තවත් ආකාරයකටත් ක්‍රියාත්මක වෙයි. මේ දත්ත ප්‍රමාණය ෆොටෝෂොප් Photoshop වැනි මෘදුකාංගයකදී දිග හැර දෙන්නට උදව් වන්නේ ඩිකෝඩින් Decoding මෘදුකාංගයකි. එයින් Canon ඉමේජ 72ppi ලෙසත් Nikon ඉමේජ 300ppi ලෙසත් දිග හරියි. නමුත් මේ ඉමේජවල ප්‍රමාණය හෙවත් එහි දිග පළල ඒ අනුව වෙනස් අගයන් ගනියි. නමුත් ඇත්තේ එක ම පික්සල් ප්‍රමාණයකි.
 


72ppi (Pixel per Inch) යනුවෙන් හඳුන්වන්නේ වර්ග අඟලක එක් පාදයක පික්සල් 72ක් ඇත යන්න ය. නමුත් මුද්‍රණයේදී මෙය හැඳින්වෙන්නේ වර්ග අඟලක එක් පාදයක ඇති තිත් සංඛ්‍යාව DPI  / dpi (Dot Per Inch) ලෙසිනි.මුද්‍රණයේදී සිදු වන්නේ වර්ග අඟලක ඇති පික්සල් සංඛ්‍යාව තිත් ලෙස මුද්‍රණය කිරීම ය.

අපට ඡායාරූප මුද්‍රණය කිරීමේ දි ප්‍රධාන ආකාර 4ක් හමු වෙයි.
01 RA4 තාක්ෂණයේ රසායනික ව සාමාන්‍ය ඡායාරූප මුද්‍රණ ක්‍රමය.
02. නූතන Dry Printing වියළි මුද්‍රණ/ Direct Printing ඍජු මුද්‍රණ ලෙස හඳුන්වන, කෙලින් ම කඩදාසිය මත තීන්ත විදින ඉන්ක්ජෙට් Inkjet ඡායාරූප මුද්‍රණ ක්‍රමය.
03 ලේසර් මුද්‍රණ ක්‍රමය.
04. ඕෆ්සෙට් මුද්‍රණ ක්‍රමය.

මෙහි 01 හා 02 ආකාර දෙකේදී ම, ඡායාරූපයක් මුද්‍රණය වන්නේ අඛණ්ඩ තාන Continues Tone ලෙසිනි. 
03 හා 04 ආකාර දෙකේ දී, කිසියම් වර්ණයක අඩු වැඩි කම මුද්‍රණය වන්නේ තිතක ලොකු කුඩා බව මත ය. එහි සෑම තිත් දෙකක් අතර ම හිස් තැනක් තිබේ. එනිසා මේ ක්‍රම හැඳින්වෙන්නේ අර්ධ තාන Half Tone නමිනි.  

සාමාන්‍ය හොඳ පෙනීමක් ඇති කෙනෙකුට, සුදු කඩදාසියක් මත, මිමී 0.25ක තිතක් තබ‍ා, සෙමී 30ක සම්මත කියවීම් දුර Standard Reading Distance සිට බැලූ විට, එය තිතක් ලෙස දැකිය හැකි ය. එමෙන් ම මිමී 0.25ක දුරින්, මිමී 0.25ක තවත් තිතක් තැබූ විට, එය තිත් දෙකක් ලෙස හඳුනාගන්නේ නැත. ඔහුට එය පෙනෙන්නේ තානයක් හෙවත් ටෝන් එකක් ලෙසිනි. 

 මුද්‍රණයක තිබිය යුතු මේ තිත් ගහණතාව තීරණය වනුයේ මුද්‍රණය වන කඩදාසි වර්ගය අනුව ය. (ඕෆ්සෙට් මුද්‍රණ ගැන මීට වඩා දීර්ඝ විස්තරයක් ඇති අතර, එතරම් සංකීර්ණ කරුණු සාමාන්‍ය ඡායාරූප ශිල්පියකුට වැදගත් නොවේයැයි උපකල්පනය කොට කෙටි කරමි.) ඕෆ්සෙට් මුද්‍රණයේ දී ආර්ට් පේපර් නමින් හැඳින්වෙන ඔප කඩදාසියක මුද්‍රණය වන්නේ අඟලකට තිත් 300කිනි. ඊටත් වඩා ඕෆ්සෙට් මුද්‍රණ තාක්ෂණයේ දී සයන්, මැජෙන්ටා, යෙලෝ සහ කළු වර්ණ වෙන වෙන ම තිත් ලෙස මුද්‍රණය වෙයි. එය වර්ග අඟලකට තිත් පේලි ලෙසිනි. එය හඳුන්වන්නේ මුද්‍රණයක ස්ක්‍රීනින් වැලියු Screening Value ලෙස ය. එහි ඒකකය වන්නේ අඟලකට ඇති තිත් පේලි හෙවත් Lines Per Inch (LPI / lpi) ය.

මේ අනුව ආර්ට්පේපර් මත මුද්‍රණයක් සිදු කිරීමේදී එහි ස්ක්‍රීනින් වැලියු එක 150 LPI ක් සෑහෙන අතර, අප පත්තර කඩදාසි ලෙසින් හඳුන්වන ඩිමයි කඩදාසියක මුද්‍රණය කිරීමට 85 LPI හොඳට ම සෑහේ. මේ දෙවර්ගයට අනුව කිසියම් ඉමේජයක් සකසන්නේනනම් එහි රෙසොලූෂන් ප්‍රමාණය ස්ක්‍රීන් වැලියු එක මෙන් දෙගුණයක් විය යුතු ය.

මුද්‍රණ ගහණතාවය Printer Resolution වඩා වැදගත් වන්නේ මුද්‍රණය දෙස අප බලන දුර සහ අප සිටින වාතාවරණය අනුව ය. අප සාමානයයෙන් යමක් බලන දුර අනුවනම් එහි රෙසොලූෂන් එක 300ක් විය යුතු ය. අඩි 10ක් පමණ දුර සිට නරඹන කටවුට් එකක රෙසොලූෂන් එක 72ක්තිබීමත් සෑහෙයි. එම කටවුට් එක ම, අපි අඩි 60ක දුරක සිට, පැයට කිමී 60ක වාහනයක් ගමන් කරමින් සිටිමින් ම නරඹන්නේනනම් එහි රෙසොලූෂන් එක 06ක්තිබීමත් හොඳට ම සෑහෙයි...!!

ප්‍රතිරූප සංස්කරණයේ දී ප්‍රතිරූපය හෝ කොටසක් හෝ නැවත ලොකු කුඩා කිරීමේදී ද Re Size අප වඩාත් ම සැළකිලිමත් විය යුතු ය. කිසිදු විටෙක කුඩා ප්‍රතිරූපයක් විශාල කිරීමෙන් හොඳ ප්‍රතිපලයක් ලබා ගත නොහැකි ය. ඉමේජය කුඩා කිරීමේ දී සිදුවන්නේ එහි තිබෙන පික්සල් කුඩා වීම නොවේ. ඉමේජයේ ඇති පික්සල් ඉවත් වීම ය. මේ ඉවත් කිරීම සිදු කරන්නේ අදාල මෘදුකාංගයෙනි. ඒ පික්සල් ඉවත් වීම නිසා සිදුවන හානිය අපට නොපෙනෙන්නේ ඉමේජය කුඩා වන නිසා ය.

මෙසේ කුඩා කළ ඉමේජය හෝ කොටස හෝ අපට ඉතා පහසුවෙන් නැවත විශාල කර ගන්නට පුලුවන. නමුත් එහි ඉවත් වූ පික්සල නැවත ඊට එකතු වන්නේ නැත. ඒ වෙනුවට මෘදුකාංගයේ Dithering පහසුකම මගින්, හිස්තැන්වල ඇති වර්ණ, අවට වර්ණ පික්සලවලට අනුව,  පුරවා ගනී. එවිට අපට අවසානයේ ලැබෙන්නේ කිසිදු තියුණු කමක් නැති හොඳට ම බොඳ වූ ප්‍රතිරූපයකි.

මේ දැක්වෙන්නේ එකම ඉමේජයක් කුඩා කොට, පසු ව එය නැවතත් මුල් ප්‍රමාණයට ම විශාලනය කළ විට සිදු වන දේ ය.


මේ ලිපිය ලියනු ලැබුවේ රෙසොලූෂන් ගැන කෙනෙකු ඇසූ පැනයකට පිළිතුරක් වශයෙනි.
ඉමේජ සම්බන්දයෙන් මීටත් වඩා ගැටලු ඇතිනම්, ඒවා ඉදිරිපත් කළ විට, මේ ලිපිය ම නැවත සංස්කරණය කොට පල කළ හැකි ය.

ඉන්ද්‍රනාථ තේනුවර.


Share/Bookmark

13 comments:

  1. බොහොම වටින ලිපියක්...බොහෝම ස්තූතියි සර්

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Anna hondai wisthara athuwama thiyanawa.. Sthuthi sir..

    ReplyDelete
  4. ලබාදුන් දැනුම ඉතා අගනේය දුරටත් ලිපි ඉදිරිපත් කරන්න.

    ReplyDelete
  5. ලබාදුන් දැනුම ඉතා අගනේය තවදුරටත් මෙවැනි ලිපි ඉදිරිපත් කරන්න.

    ReplyDelete
  6. ඇත්තටම වටිනා ලිපියක්...ඡායාරූප කරනයට උනන්දුවන හැමෝටම වටිනව

    ReplyDelete